විදු නැණ කිරණScience Dissemination Unit

විද්‍යා පරීක්ෂණ
   Print Friendly and PDFPrint Print Friendly and PDFPDF

රබර් පටි සහ තාපය

    රබර් පටි අප සෑමදෙනාම දැක ඇතත් ඒ පිළිබඳව අධ්‍යයනයකට අප යොමු වී නැත. නමුත් සමහරුන් මෙවැනි විෂයයන් කෙරෙහි අවධානය යොමුකර ඇත.  ශක්තිය සමඟ රබර් පටියක හැසිරීම පිළිබඳව මෙම පරීෂණයේදී ඔබ අධ්‍යයනය කරනු ඇත. 

    පළමු පරීෂණයේදී රබර් පටියට තාපය ගලා ඒම හා පිටවීම නිරීෂණය කල හැක. මෙයට තාප සංවේදී උපකරණයක් අවශ්‍ය වේ. මේ සඳහා අපට සැමවිටම ඇති ස්වාභාවික උපකරණය යොදා ගනිමු. ඔබට දැල්ලක රස්නයත් අයිස් කැටයක සීතලත් ස්පර්ශයෙන් දැනගත හැක. එනම් අපේ සම, තාප ගලා යෑම නිරීෂණයට සංවේදීය. මෙයින් වඩාත්ම සංවේදී ස්ථානවන්නේ නළල හා දෙතොල්ය.




පරීක්ෂණය

  • රබර් පටිය දෙකෙලවරින් සාමාන්‍ය පරිදි අල්ලා ගන්න.  නොඅදින ලද රබර් පටිය නළල සහ දෙතොල් මත තබා ස්පර්ශයේදී දැනෙන උෂ්ණත්වය ගැන හොඳින් අවබෝධයක් ගන්න.

  • රබර් පටිය ඉවතට ගෙන මුහුණ අසලදීම ක්ෂණිකව රබර් පටිය හැකිතාක් අදින්න.
    ඇද ඇති රබර් පටියේ උෂ්ණත්වය නැවත පරීක්ෂා කරන්න.
    එහි උෂ්ණත්වය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද? එය පෙර අවස්ථාවට වඩා වැඩිද? අඩුද?

  • පටිය ඉවතට ගෙන රබර් පටිය ක්ෂණිකව මුදා හැර නැවත රබර් පටිය පෙර තිබු ස්වාභාවික තත්වයට ගන්න.
    එහි උෂ්ණත්වයද නිරිෂණය කරන්න.

  • මෙය නැවත නැවත කර ඔබගේ ප්‍රතිඑල ගැන ස්ථිර නිගමනයකට  පැමිණෙන්න.

මෙහිදී සිදුවන්නේ කුමක්ද ?

    යම් වස්තුවක් සමේ ස්පර්ශ වු විට එය සීතලට දැනෙන්නේ සමේ සිට එම වස්තුවට තාපය ගලා යන හෙයිනි. එමෙන්ම වස්තුවක් ස්පර්ශයේදී උණුසුම්ව දැනෙන්නේ එම වස්තුවේ සිට තාපය සම දෙසට ගලා එන නිසාය. ඔබට රබර් පටිය සීතලට දැනුණේ නම් රබර් පටිය සමෙන් ශක්තිය අවශෝෂණය කරගනී. රබර් පටිය උණුසුම්ව දැනෙන්නේ නම් එය සමට ශක්තිය සපයයි. රබර් පටියේ උණුසුමක් හෝ සීතලක් දැනෙන්නේ නැත්තම් සැලකිය යුතු තරමේ තාප ගලා යාමක් සිදුනොවේ. මෙහිදී සිදුවන සංසිද්ධිය පහත ආකාරයට දැක්විය හැක.

  • ලිහිල් රබර් පටිය + තාපය → ඇදුනු රබර් පටිය
  • ලිහිල් රබර් පටිය → ඇදුනු රබර් පටිය + තාපය
  • ලිහිල් රබර් පටිය →  ඇදුනු රබර් පටිය (තාපය ගැලීමක් නැත.)
    • මෙම පරීක්ෂණය වෙනස් ආකාරයටත් සිදුකර ඉහත අවස්ථාවන් 3හි සත්‍යතාව පරීක්ෂා කළ හැක.  රබර් පටිය රත්කර හෝ සිසිල් කර රබර් පටියේ දිගෙහි වෙනස මැනීම අනෙක් ක්‍රමයයි.

  • රබර් පටිය වහලේ එල්ලන්න.  අනෙක් කෙලවරට රබර් පටිය ඇදී තිබෙන ආකාරයට බරක් එල්ලන්න.
  • රබර් පටිය රත්වූ චියළි වාතයෙන් (හිසකෙස් වියලීමේ උපකරණයකින් වැනි) උණුසුම් කරන්න.  දිගෙහි වෙනසක් ඇති දැයි බලන්න.
    • රබර් පටියක් රත්වීමේදී එහි හැසිරීම අප දන්නා අනෙක් ද්‍රව්‍ය වල හැසිරීමට වඩා වෙනස්ය. බොහෝ ද්‍රව්‍ය රත් කලවිට විශාලචේ. ද්‍රව උෂ්ණත්වමානයක් ගැන සිතමු. එහි උෂ්ණත්වය වැඩි වු විට ද්‍රව කඳ ඉහළ යයි. එමෙන්ම ලෝහ කම්බියක් රත් වන විට එහි දිග වැඩිවේ. යම් ද්‍රව්‍යයක් උණුසුම් කරන විට විශාල වීම හෝ හැකිලීම එම ද්‍රව්‍යයේ ස්වභාවය මත රඳා පවතී. මෙය එන්ට්‍රොපීය ලෙස හැඳින්වේ. යම් ද්‍රව්‍යයක එන්ට්‍රොපීය මනින්නේ එහි ඇති අණු වල පිළිවෙල අනුවයි. යම් මූලද්‍රව්‍යයක අණු, පිළිවෙලකට ඇසිරී ඇත්නම් එම ද්‍රව්‍යයේ එන්ට්‍රොපීය අඩුය. අණු වල හැසිරීම අපිළිවෙල නම් එහි එන්ට්‍රොපීය වැඩිය. (පිළිවෙල හැසිරීමකට පැකැට්ටුවක තැම්පත් කර ඇති විස්කෝතුද, විසිරී ගිය අපිළිවෙල හැසිරීමකට බන්දේසියක විසුරුවා ඇති විස්කෝතු උදාහරණ ලෙස ගත හැක.)

      ද්‍රව්‍යයක් රත් කල විට එහි එන්ට්‍රොපීය වැඩිවේ. මෙහිදී පිළිවෙලකට තිබු අණුවල ඇසිරීම විසිරී යයි. මෙය සිදුවන්නේ ද්‍රව්‍යයේ ඇති අණු රත්වීමේදී තාපය ලබගෙන චලනය වීම නිසයි. ද්‍රව උෂ්ණත්වමානයක රත්වීමේදී සිදු වන්නේ ද්‍රව අණු තාපය ලබාගෙන චලනය වීමෙන් අසල්වාසී අණු තල්ලු කරයි. මේනිසා ද්‍රව කඳේ දිග වැඩිවේ. රබර් වල ඇත්තේ විශාල නුල් වැනි අණුයි. රබර් උණුසුම් කිරීමේදී මෙම දිග අණු වල කොටසක් පමණක් චලනයට භාජනය වේ. මෙසේ අණුවක කොටසක් තාපය ලබාගෙන සීඝ්‍රයෙන් චලනය වීමට අසල්වාසී කොටස් ලංවිය යුතුය. මෙය තේරුම් ගැනීමට මෙසේ සිතමු. ඇදී ඇති රබර් පටියක අණුවක් ගැන සිතමු. එය මේසයක් මත නුලක් මෙන් එලා ඇතුයි සිතමු. රබර් පටිය රත්වීමේදී වන්නේ එම අණුවේ කොටසක් සීඝ්‍රයෙන් චලනය වීමයි.එනම් දෙපැත්තට එහා මෙහා යාමයි. මෙසේ නුලක් වැනි අණුවේ මැද එහාට මෙහාට යාමේදී එහි කෙලවරවල් දෙක ලංවේ. එනම් තාපය ලබා ගැනීමේදී රබර් පටිය කෙටිවේ.

    blog comments powered by Disqus
    2005 - 2011 All Rights Reserved by CATKAN Foundation & Institute of Fundamental Studies-Sri Lanka