විදු නැණ කිරණScience Dissemination Unit

විද්‍යා ප්‍රබන්ධ / විද්‍යා ලිපි
   Print Friendly and PDFPrint Print Friendly and PDFPDF

භූ වෛද්‍ය  විද්‍යාව සහ සෞඛ්‍යය

බොහොමයක් පිරිසට භූ විද්‍යාව යනු ඛනිජ, පාෂාණ හා පෘථිවියේ ඒවායේ පැතිරීම පිළිබඳව අධ්‍යනය කෙරෙන විෂයක්ම පමණි.  එහිදී පෘථිවියේ භෞතික ක්‍රියාවලින් වන කඳු නිර්මාණය වීම, වෙරළ හා ගංඟාවන්ගේ චාලක හැසිරීම හා කාන්තාර ඇතිවීම ආදිය පිළිබඳව කතාබහ කෙරේ. එහෙත් භූ විද්‍යාව මිනිස් හා සත්ව සෞඛ්‍යය සමඟ ඈඳී උප විෂයයක් කරා පැතිරී ගොස් ඇති බව බොහෝ දෙනා තවමත් නොදනිති.  මෙම උප විෂය භූ වෛද්‍ය  විද්‍යාව ලෙස හැදින්වෙන අතර පෘථිවිය නිර්මාණය කෙරෙන අජිවීය කොටස ‍ජෛවගෝලය සමඟ පවත්නා අන්තර් සම්බන්ධතාවය මෙමඟින් මනාව හෙළිදරව් කෙරේ.  මිහිතලයේ නිර්මාපකයන් වන ඛනිජ හා පාෂාණ ඒ මත ජීවත් වන මිනිසා ඇතුලු අනෙකුත් සත්වයන්ගේ සෞඛ්‍යය මත බලපෑම් කරන බැව්  මෙමඟින් පැහැදිලිය.
කෙසේ වෙතත් දැන් භූ වෛද්‍ය  විද්‍යාව භූ විද්‍යාවේ උප විෂයක් ලෙස සැලකේ.  1990දී අන්තර් ජාතික භූ විද්‍යා  සංගමය මඟින් ස්ථාපනය කෙරුණු පරිසර සැලසුම් සඳහා භූ විද්‍යා  කොමිසම,  භූ වෛද්‍ය  විද්‍යාව අර්ථ කථනය කර ඇත්තේ මෙසේය.  භූගෝලිය ව්‍යාප්තියක් පෙන්නුම් කරවන මානව හා සත්ව සෞඛ්‍ය ප්‍රශ්න හා පාරිසරික තත්ව මඟින් ඒ මත ඇති කරන බලපෑම් අධ්‍යයනය භූ වෛද්‍ය විද්‍යාව ලෙස හැඳින්වේ.  වර්තමානයේ මෙය අතිශය අවධානයට ලක්වු විෂයක් ලෙසින් නැඟී සිටී. ලෝකය පුරා වෙසෙන සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වයට එමඟින් ලැබෙන ප්‍රතිලාභයම එයට හේතු වී ඇත.

අපේ සෞඛ්‍යය අප කන බොන දෑ හි ප්‍රථිඵලයයි

අපගේ පෘථිවිය තුළ රසායනික ද්‍රව්‍ය ගෝල කිහිපයක් හරහා සංචරණය වේ.  ඒවා වායුගෝලය, ජල ගෝලය, ශිලා ගෝලය හා ජෛව ගෝලය වේ.  මිනිසා ඇතුළු අනෙකුත් සත්වයෝ මෙම ගෝලයන්ගේ කොටස් කරුවෝ වෙති.  රසායනික මූලද්‍රව්‍ය ඔවුන් වෙත ලැබීම හා ඔවුන්ගෙන් ඉවත් වීම සිදුවනුයේ සංකීර්ණ වූ ක්‍රියා දාමයක් මඟිනි. එය ජෛව භූ රසායනික චක්‍ර ලෙස හැඳින්වේ. එබැවින් දේශීය භූ පරිසරයේ රසායනිකයන් එම පරිසරයේ ජීවත් වන මිනිසා සහ අනෙකුත් සත්වයන් කෙරේ ඝෘජු බලපෑමක් එල්ල කරයි. මෙය ඉතා පැහැදිලිව  දක්නට ලැබෙනුයේ නිවර්තන රටවල දුෂ්කර පළාත්වල ජීවත්වන ජනයා අතරයි. එයට හේතුව ඔවුන් තම භෞතික පරිසරය හා දිගින් දිගටම පවත්වාගන්නා දැඩි හා ඝෘජු සම්බන්ධවයි. අතිශය ලෙස  නිසරු පසක ජීවත් වන මිනිසුන්ට බොහෝ පෝෂණ ඌණතා ඇතිවිය හැක. ඒ සඳහා හොඳම උදාහරණය ගෙනහැර දැක්විය හැක්කේ දකුණු අප්‍රිකාවේ මපුටාලන්ඩ් ප්‍රදේශයෙනි. එහි ජීවත් වන මිනිසුන් අතර ඛනිජ ලවණ ඌණතාවය හේතුවෙන් හටගන්නා රෝග තත්වයන් බහුලය. පසේ ඛනිජ ඌණතාවය නිසා ඔවුන් වෙත පානීය ජලය මාර්ගයෙන් හෝ ආහාරයට ගන්නා එළවලූ මාර්ගයෙන් හෝ ඛනිජ ලවණ නොලැබී යයි. එසේම සමහර මූලද්‍රව්‍යය  අධිකව පවත්නා ප්‍රදේශයන් පැවතිය හැක. එමඟින් ද විවිධාකාර රෝගාබාධ  ඇතිවේ. බංග්ලාදේශයේ පවත්නා ආසනික් විෂවීම එවැන්නකි.

ජීවන රටාව, ලිංග භේදය, වයස, සංක්‍රමණය වීම හා ආහාර රටාව ආදිය ද මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි බලපෑම් ඇති කළද අකාබනික මූලද්‍රව්‍යයන්ගේ ලැබීම මිනිසාගේ හා සතුන්ගේ සෞඛ්‍යය කෙරෙහි විශාල වශයෙන් බලපායි. ඖෂධ විද්‍යාවේ පියා වන පැරාසෙල්සස් (1493-1541) විසින් ඉදිරිපත් කළ විශවීම් පිළිබඳ මූලික නීතිය මෙහිදී සිහියට නැගීම වැදගත්ය. ඔහූ විසින් ප්‍රකාශ කළ පරිදි මෙලොව පවත්නා සියළු දේ විෂ සහිතයි.විෂ නොමැති කිසිදු දෙයක් නැත. විෂ සහිත වීම හා නොවීම රඳා පවතින්නේ නිවැරදි මාත්‍රාව මතය. වතූර වුවද අනවශ්‍ය ප්‍රමාණයට හා ඉක්මණින් බීම මරණීය තත්වය පවා ළඟා කළ හැක. භූ වෛද්‍ය


 විද්‍යාඥයින්ගේ මූලික ක්‍රියාදාමය විය යුත්තේ මිනිසාගේ සෞඛ්‍ය තත්වය හොඳින් පවත්වාගෙන යාමට හෝ ඉහළ නැංවීම සඳහා මූලද්‍රව්‍යයන්ගේ සම්මත තත්ව නිර්ණය කිරීමයි. පොටෑසියම් වැඩිවිම නිසා ඇතිවන  රෝග තත්වය (hypercalemia), කැලිසියම් අධික වීම නිසා ඇති වන රෝග තත්වය (hypercalcemia), සහ පොස්පරස් වැඩිවීම නිසා ඇති වන රෝග තත්වය (hyperphosphatemia), ලෝකයේ බොහෝ ප්‍රදේශවල දැක ගත හැකි වේ. ක්ෂද්‍ර මූලද්‍රව්‍යයන්ගේ සම්මත ප්‍රමාණ මිනිසාගේ සෞඛ්‍යය හොඳින් පවත්වා ගැනීමට කොතරම් බලපායිද යන්න හා එම මූලද්‍රව්‍යයන්ගේ ප්‍රමාණ වෙනස් වීම මඟින් ඇතිවන රෝග තත්ව පිළිබඳ මෙහිදී කතා කෙරේ.

පානීය ජලයේ ඇති  ෆ්ලෝරයිඩ් - මිතුරෙක් මෙන්ම හතුරෙක්

යම් ප්‍රදේශයක ජලයේ ෆ්ලෝරයිඩ් භූ රසායනය හා දන්ත ෆ්ලොරොසියාව නම්වූ හානි වීමේ තත්වය අතර සම්බන්ධතාවය භූ වෛද්‍ය  විද්‍යාවේ මනාව සනාථ කළ එකකි. සීමිත ෆ්ලෝරයිඩ් තත්වයක් මඟින් දන්ත සෞඛ්‍යයට බලපෑම් ඇතිවන බව සක්සුදක් සේ පැහැදිලි කරුණක් වන අතර අධික ෆ්ලෝරයිඩ් තත්වය භයානක ප්‍රතිඵල ගෙන එන බැව් නිවර්තන රටවලින් ලැබෙන දත්ත මඟින් ඔප්පු වේ. අත්‍යවශ්‍ය ක්ෂද්‍ර මූලද්‍රව්‍යයන්ගේ සේ ෆ්ලෝරයිඩ් හි ප්‍රශස්ත මට්ටම පවතිනුයේ ඉතා කුඩා සාන්ද්‍රණ පරාසයකය. ජලයේ පවත්නා සාන්ද්‍රණ පාලනයකට ලක් නොවූ ස්ථානවල, ශ්‍රී ලංකාවේ පවා බොහොමයක් ජනතාව ෆ්ලෝරයිඩ් අසංතුලනය හේතුවෙන් පීඩා විඳිති. ශ්‍රී ලංකාවේදී සිදුකළ ෆ්ලෝරයිඩ් පිළිබඳ භූ වෛද්‍ය  විද්‍යාත්මක පර්යේෂණයන් මඟින් මෙම තත්වය ඉතා පැහැදිලි විය.
පානීය ජලයේ පවත්නා ෆ්ලෝරයිඩ් ප්‍රමාණය ලීටරයකට මිලිග්‍රම් 1.5 (ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සම්මත ප්‍රමාණය) ඉක්මවයි නම් එම ජලය පානය කරන වයස අවුරුදු 7ට අඩු කුඩා දරුවාගේ දත් මතුපිට දුඹුරු  පැහැ ගැනෙන අතර පැල්ලම් ඇතිවේ. මෙය දන්ත ෆ්ලොරසියාව නම් වේ (ඡායා රූපය1).

මෙය ජීවිත හානි ගෙන දෙන තත්වයක් නොවූවද, විශාල සමාජ ප්‍රශ්නයකි. විශේෂයෙන්ම විවාහ පත්වන්නට සිටින කාන්තාවන් සඳහා මෙය බලපායි. සමහරෙකු මෙම අවලක්ෂණ දුඹුරු පැහැය ඉවත් කිරීම  සඳහා වැලි කඩදාසි පවා භාවිතා කරන බැව් කියවේ. ශ්‍රී ලංකාව සමක ආසන්නයේ පවත්නා සංවර්ධනය වෙමින් පවතින රටකි. ජීවත් වන මුළු ජනගහණය මිලියන 20ක් පමණ වේ. පැහැදිලිව  වෙන් කරන ලද වියළි කලාපයක් හා තෙත් කලාපයක් සහිතයි. වියළි කලාපයේ දන්ත ෆ්ලොරසියාව බහුලව දැකිය හැකි අතර තවත් මිලියන දෙකකගේ පමණ එය වර්ධනය වෙමින් පවතී.
ශ්‍රී ලංකා ජනගහණයෙන් සම්මත ඛනිජ ලවණ සහිත පිරිසිදු පයිප්ප ජලය ලැබෙනුයේ 30%ට පමණි. ඉතිරිය ජීවත් වන්නේ තම වටපිටාව සමඟ පවත්නා සමීප සම්බන්ධතාවක් සමඟයි. ඔවුන් ජලය ලබා ගන්නේ නොගැඹුරු ළිඳකින් හෝ නල ළිඳකිනි. සමහර නොගැඹුරු ළිංවල හා නල ළිංවල ජලයේ ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය ලීටරයට මිලිග්‍රම් 1 ඉක්මවයි. සමහර අවස්ථාවන්හිදී එය ලීටරයට මිලිග්‍රම් 10ක් පමණ වේ. මෙම ෆ්ලෝරයිඩ් ජලයට ලැබෙනුයේ වියළි කලාපයේ පවතින අධි ශ්‍රෙණියේ විපරීත පාෂාණයන්ගෙනි. මෙම පාෂාණ නිර්මාණය වී ඇත්තේ තලාතු මිනිරන්, හෝන්බ්ලෙන්ඩ් හා ෆ්ලෝරයිට් වැනි ඛනිජයන්ගේ එකතුවෙනි. මෙම ඛනිජවල ෆ්ලෝරයිඩ් අඩංගු වේ. ජාතික විද්‍යා පදනමෙන් ලැබුණු අනුග්‍රහය මඟින් ශ්‍රී ලංකාවේ ෆ්ලෝරයිඩ් පැතිරීම පෙන්වන සිතියමක් නිර්මාණය කිරීමට මට හැකියාව ලැබුණි. එය පහතින් දැක්වේ.

මෙහි වඩාත් වැදගත්ම සොයාගැනීම වූයේ දතෙහි බැදෙන දුඹුරු ද්‍රවයේ ඛනිජ විද්‍යාව හඳුනාගැනීමයි. ජෛව ඛනිජකරණයේ ප්‍රතිඵලයක් ලෙස දතේ ඇති වන හයිඩ්‍රොක්සි ඇපටයිට් දත ආරක්ෂා කරයි. ෆ්ලෝරයිඩ සාන්ද්‍රණය අධික ජලය පානය කරන විට මෙම හයිඩ්‍රොක්සි ඇපටයිට් හයිඩ්‍රොක්සිල් කාණ්ඩය ෆ්ලෝරයිඩ් සමඟ හුවමාරු වී ෆ්ලෝරොඇපටයිට් සෑදේ. ෆ්ලෝරයිඩ් අයනය වඩා ක්‍රියාකාරී වීමත් එම අයන එක සමාන ගති ලක්ෂණ පෙන්වීමත් නිසා මෙම හුවමාරුව ඉතා පහසුවෙන් සිදුවේ.

"භූ රසායන රෝගය" – අයඩින් ඌණතාවය

දැනට වාර්තා ගත වී ඇති අන්දමට ලෝකයේ ජනතාවගෙන් 30% කුමන ආකාරයේ හෝ අයඩීන් ඌණතා විකෘතියකට බඳුන්ව ඇති බව තක්සේරු කර ඇත. අල්ප ප්‍රමාණයන්ගෙන් අයඩීන් භාවිතා කිරීම හේතුවෙන් ඇතිවන ඌණ මානසික වර්ධනය හා මොළයට හානිවීම ඉතා සුලභව දැකිය හැක. මිලියන 1.6ක ජනතාව තර්ජනාත්මක තත්වයක සිටින අතර ළමුන් මිලියන 50 ක් මෙම තත්වයට බඳුන්ව ඇත. සෑම වසරකම ලක්ෂයක පමණ ජනතාවක් මෙම තත්වයට පත්වෙමින් සිටින බැව් සනාථ වී අඅත. අයඩින් ඌණතා විකෘතින් (Iodine Deficiency Disorders- IDD) නිවර්ථන කලාපයේ සුලභය. මානසික දුර්වලතාවයන් හේතුවෙන් මෙම ප්‍රදේශවල ඝෘජුව හා වක්‍රව පීඩා විඳින්නන්ගේ ප්‍රමාණය ඉතා අධිකයි.
අයඩින් භූ රසායනය හා එහි අනෙකුත් රසායනික සංයෝග ගලගණ්ඩය හා අනෙකුත් අයඩින් ඌණතා විකෘතින් කෙරෙහි ඉතා වැදගත් ලෙස බලපායි. එබැවින් මෙම රෝග තත්ව සියල්ලම භූ රසායන රෝග ලෙසින් හැඳින්වේ. අයඩින්වල ප්‍රධාන සම්භවය මුහුදයි. එබැවින් යම් ප්‍රදේශයකට මුහුදේ සිට ඇති දුර අයඩින් ඌණතා විකෘතින් ඇතිවීමට බලපායි. මුහුදේ සිට ඇති දුර වැඩිවත්ම අයඩින් ප්‍රමාණය අඩුවේ. භූ විෂමතාව මෙන්ම වායුගෝලීය තත්වයන් ද මේ කෙරෙහි බලපායි. උදාහරණයකට බොහොමයක් කඳුකර ප්‍රදේශවල අයඩින් ප්‍රමාණය අඩු බැවින් අයඩින් ඌණතා විකෘතීන් ඉහල ප්‍රතිශතයක් දැකිය හැක.
කාබනික ද්‍රව්‍යවල පවතින හියුමස් කොටස් අයඩින් වැනි අයනයන්ගේ සංයෝග හා සචලතාවයට බෙහෙවින් බලපෑම් ඇති කරයි. යම් භූ රසායනික වාසස්ථානයක ජීවත්වන්නට එම ස්ථානයේදී රසායනික සංයෝගවල සිදුවන පරිවර්තනයන් දැඩි ලෙස බලපායි. හියුමස් මඟින් අයඩින් දැඩිව රඳවා තබා ගනී. එබැවින් හියුමස් අධික පස අයඩින් වලින් අනූනයි. එහෙත් මෙම අයඩින් ජෛව පරිහරණයට ලැබීම ඉතා අවම තත්වයේ පවතී. එය පාරිසරික pH තත්වය මත බලපායි. අයඩින් තදින් රඳවා තබා ගන්නා මැටි හා හියුමස් වැනි ද්‍රව්‍ය "භූ රසායනික ගලගණ්ඩ වර්ධක" ලෙස හඳුන්වයි. එහෙත් පුදුම දනවන ලෙස මුහුදට බොහොම සමීප කළුතර දිස්ත්‍රික්කය ගලගණ්ඩ දර්ශකයේ ඉහළින්ම සිටී. මෙය ගලගණ්ඩ වර්ධක උපකල්පනයට අදාල වේ. එම පරිසරයේ පවතින යම් ද්‍රව්‍යයක් අයඩින් රඳවා තබාගන්නා බැවින් ජෛව පරිහරණයට ලැබෙන අඩුවීම මෙයට හේතුවයි.

මැටි, ආහාරයක් ලෙස

පස් ආහාරයට ගැනීම හා එමඟින් සිදුවන කායික විද්‍යාත්මක වෙනස්කම් අධ්‍යයනය ඉතා සුවිශේෂීය. පාංශු රසායනය, පාංශු ඛනිජ විද්‍යාව හා සෞඛ්‍යය ඝෘජුව සම්බන්ධතා පෙන්වයි.
මිනිසා සහ සතුන් විසින් පස්, මැටි හා ඛනිජ ද්‍රව්‍ය වැනි භූ සංඝටක ආහාර කොට ගැනීම Goephagy යනුවෙන් අර්ථ දැක්වේ. මේ අතර අලි, වඳුරන්, චිම්පන්සින්, ගෝරිල්ලන්, පක්ෂීන්, සර්පයන් හා අශ්වයන් ප්‍රධාන වේ. සමහර අවස්ථාවන්හිදී සතුන් විසින් ගල් බොරළු පවා ආහාරයට ගනු දැකිය හැක. ඒ ආහාර දිරවීමේදී ගල් බොරළු මත ඇඹරී කොටස් කැඩීයාම පහසුවීමටයි.
මිනිසා අතරද මෙය බහුලව දැකිය හැක. විශේෂයෙන්ම නිවර්තන කලාපයේ සුලභව දකින්නට හැකියාව ඇති අතර දකුණු අප්‍රිකාවේ නිරන්තරයෙන් දැකිය හැක. ගර්භනී මව්වරුන් මේ අතර සුවිශේෂීයයි.
ඇලෙක්සෙන්ඩර් වොන් හම්බේල්ට් (Alexander Von Humbolt) දකුණු ඇමරිකාවේ ස්වභාවික සම්පත් ගවේශණය කළ අවස්ථාවන් හිදී වෙනිසියුලාවේ ඔරිනොකෝ ප්‍රදේශයේද Goephagy දක්නට ලැබුණු බැව් වාර්තා කොට ඇත. ඒ 1799 සිට 1804 තරම් අතීතයේ දීය.
ඔටෝමැක් වාසීන් සෑම සියළු මැටි ද්‍රව්‍යයකම ආහාරයට නොගනී. රළු නැති බොහෝ සෞම්‍ය මැටි පමණක් ඔවුන් විසින් ආහාරය ලෙස තෝරා ගනු ලබයි. සුවිශේෂී මැටි පමණක් ආහාර කොට ගන්නා ඔටොමැක් වාසීන් අතර ලෙඩ රෝග දක්නට නොලැබේ. එහෙත් වෙනත් මැටි වර්ග ආහාර කොට ගත් විට අනෙකුත් ගෝත්‍රික ජනතාව රෝගී වීම සිදුවේ.
හම්බෝල්ට් මෙම වාර්තා පසුකාලීනව වෛද්‍ය විද්‍යාඥයන්ගේ අවධානයට බඳුන් විය. පස් ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යයට ඇතිවන ප්‍රතිලාභ තවමත් විවාදාත්මකය.
මිනිසා ඇතුළු සමහර සත්වයින් පස් ආහාරයක් ලෙස ගන්නේ ඇයි? පසේ පවතින අකාබනික පෝෂක කොටස් අපට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර මූලද්‍රව්‍යය ශරීරයට සපයන බැවින්ද? ආහාර කොටගත් ද්‍රව්‍යවල පවත්නා විෂ සහිත බව හෝ අපුල බව එමඟින් පහව යන බැවින්ද? පස්, ආහාර දිරවීම පහසු කරන බැවින්ද? මෙම ප්‍රශ්නයන්ට පිළිතුරු අවශ්‍යව තිබේ. එමනිසා මේ සම්බන්ධයෙන් විස්තරාත්මක පර්යේෂණ සිදුකළ යුතුව ඇත.

 

කඨින ජලය හදවත් රෝග නිවාරණය කරයි ද?

භූ විද්‍යාව හා සෞඛ්‍ය ඉතා සුවිශේෂී වනුයේ යම් ප්‍රදේශයක ජලයේ පවතින කඨිනතාව හා එම ප්‍රදේශයේ හෘද රෝග පිළිබඳ කතාබහේදීය. බොහොමයක් රටවල සිදුකර ඇති පර්යේෂණයන්ගෙන් සනාථ වී ඇත්තේ කඨිනතාව සහ හෘද රෝග අතර පවතින්නේ ඝෘණාත්මක සබැඳියාවක් බවයි. කඨිනතාව වැඩි ප්‍රදේශවල හෘද රෝග හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව සාපේක්ෂව අඩුබැව් වාර්ථා වේ. මෙය නිවර්තන මෙන්ම සමසීතෝෂ්ණ දේශගුණය සහිත රටවල පවා වාර්ථා වේ. තවමත් මෙයට හේතුව නිර්ණය කර ගැනීමට නොහැකිවී ඇත. පානීය ජලයේ පවතින ක්ෂද්‍ර මූලද්‍රව්‍යයන්ගේ භූ රාසායනය හා හෘද රෝග අතර යම් සම්බන්ධතාවක් පවතින්නේද යන්න වෙත භූ විද්‍යාඥයින්ගේ අවධානය යොමුවී තිබේ. අප විසින් එවන් සම්බන්ධතාවයක් ඇති බව පිළිගන්නේ නම් ඊළඟ ප්‍රශ්නය වන්නේ කඨින ජලයේ පවතින කුමන ද්‍රව්‍යය මෙයට හේතුකාරක වන්නේද යන්නයි.
බොහොමයක් අධ්‍යනයන්ගේ සාක්ෂිය වී ඇත්තේ කඨින ජලයේ පවතින මැග්නීසියම් මේ සඳහා වැදගත් වන අතර කැල්සියම් යම් ප්‍රමාණයකින් උදව් වන බවයි. ජලයට කැල්සියම් හා මැග්නීසියම් ලැබෙනුයේ හුණුගල්, මැග්නසයිට්, ජිප්සම් හා අනෙකුත් ඇළුමිනෝසිලිකේට ජීර්ණය වීමෙනි.
මේ සම්බන්ධව කෙරී ඇති අධ්‍යනයන්ගෙන් සෑම අධ්‍යන තුනකින්ම දෙකක් ජලයේ කඨිනතාව හා මරණීය හෘද රෝග අතර සම්බන්ධතාවයක් පෙන්වයි. ජලයේ පවතින මැග්නීසියම් පමණක් මඟින් කළ පර්යේෂණ වලින්ද තහවුරු වී ඇත්තේ මැග්නීසියම් හා හෘදරෝග මඟින් සිදුවන මරණ අතර විරුද්ධ සම්බන්ධතාවයක් පවතින බවයි. එනම් මැග්නීසියම් වැඩිවන විට හෘද රෝග මඟින් වන මරණ සංඛ්‍යාව අඩුවේ.
භූ වෛද්‍ය  විද්‍යාඥයන් මේ සම්බන්ධව අති විශාල උනන්දුවකින් ක්‍රියා කළද මෙම සම්බන්ධය ඒත්තු ගැන්වීමට නොහැකි වී ඇත. එබැවින් තීක්ෂණ ලෙස එම කරුණ ඔප්පු කිරීමට සුදුසු පර්යේෂණයන්ගේ අවශ්‍යතාවය දැන් මතුව තිබේ.

විකිරණශීලීතාව පිළිබඳ කතාබහ

පෘථිවිය බිහිවූ දා පටන් අද දක්වාම පරිසරයේ ස්වභාවික විකිරණශීලීතාවක් පවතී. විවිධ විකිරණශීලී අංශු 60ක් පමණ දැනට ද සොබාදහමේ අප සමඟ පවතී. මේවා වාතයේ, ජලයේ, පසේ, පාෂාණ හා ඛනිජවල මෙන්ම ආහාරවලද හමුවේ. පාරිසරික විකිරණශීලීතාවයෙන් 82% පමණ ඇතිවනුයේ ස්වභාවික ප්‍රභවයන්ගෙනි. එහිදී වඩාත් විශාල ප්‍රමාණයකට හිමිකම් කියනුයේ රේඩෝන් ය.
ලෝකයේ සමහර ප්‍රදේශයන්ගේ වටපිටාවේ සාමාන්‍ය විකිරණශීලීතාවය ස්වභාවිකවම අධිකය. මෙයට විශේෂයෙන්ම හේතුකාරක වනුයේ අප ප්‍රදේශය තුළ පවත්නා ඛනිජ හා පාෂාණයන්ය. මෙසේ ඉතා අධික විකිරණශීලීතාවයක් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත්තේ බ්‍රසීලයේ ගෞරපරි, ප්‍රංශයේ නිරිත දිග ප්‍රදේශය, ඉරානයේ රම්සාර්, චීනයේ සමහර ප්‍රදේශ හා ඉන්දියාවේ කේරලයයි. මේවායින් බොහොමයක් හමුවනුයේ නිවර්තන, ශුෂ්ක හා අර්ධ ශුෂ්ක ප්‍රදේශවලයි. බ්‍රසීලයේ සමහර වෙරළ බඩ ප්‍රදේශවල මොනොසයිට් නම් විකිරණශී ඛනිජය බහුලයි. මෙම මුහුදු වැල්ලේ බාහිර විකිරණ ප්‍රමාණය පැයට මිලි රෙඩොන් 5ක් දක්වා දක්නට හැක. එය ඇමරිකාවේ සාමාන්‍ය විකිරණශීලීතාවය මෙන් 400 ගුණයකි. බ්‍රසීලයේ වෙරළ වැලි අතර බොහෝ විකිරණශීලී ඛනිජ හමුවේ. මොනොසයිට්, සර්කෝන්, තෝරියනයිට් හා නියෝබේට්-ටැන්ටලේට් ප්‍රධානයි. ඒ අතර විකිරණශීලී බවක් නොමැති ඉල්මනයිට්, රූටයිල්, පයිරොක්ලෝරේ හා කැසිටරයිට් ආදී ඛනිජද හමුවේ.
ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කිලෝමීටර් 570 පුරා දිවෙන වෙරළ තීරය ඉතා අධික විකිරණශීලීතාවයක් පෙන්වන මොනොසයිට් ඛනිජයෙන් යුක්තයි. බ්‍රසීලයේ මොනොසයිට් තැම්පතුට  වඩා මෙය ඉතා විශාල වන අතර කේරළ මොනොසයිට්හි බාහිර විකිරණශීලීතාවය බ්‍රසීලයේ මෙන් සම්මත තත්ව ඉක්මවා යයි.
ඉරානයේ රම්සාර් ප්‍රදේශයේ පවතින ස්වභාවික විකිරණශීලීතාවය ලොව ප්‍රමුඛස්ථානය ගන්නා තරම් අධිකය. රම්සාර්හි සමහර ප්‍රදේශවල විකිරණශීලීතාවය වටපිටාවේ විකිරණශීලීතාවයට වඩා 55 සිට 220 තරම් ගුණයකින් ඉහළයි. වසරකට මිලිග්‍රේ 260 (mgy/y) ඉහළ මට්ටමක ප්‍රමාණයකට පවා මෙහිදී ලක්විය හැක. මෙහිදී වසරකට මිලිග්‍රෑම් යම් ප්‍රමාණයක් යන්න බලපානුයේ කිලෝග්‍රෑමයක පේශී හා ජුල් එකක ශක්තියකටයි. යම් හෙයකින් කෙනෙකුගේ මුළු ශරීරයම දිගින් දිගටම එක ලෙසින් ග්‍රේ 3-5 අතර ප්‍රමාණයකට නිරාවරණය වුවහොත් එම පුද්ගලයන් සංඛ්‍යාවෙන් සියයට 50ක් මාස 1-2 අතර කාලයකදී මිය යනු නියතය.
මෙහි පවතින සුවිශේෂීතාවය නම් මෙම ප්‍රදේශවල ජීවත්වන්නවුන් කිසිවිටක විකිරණශීලීතාවය අධික වීමෙන් ඇති රෝග කිසිදු අවස්ථාවක පෙන්නුම් නොකිරීමයි. එලෙසම එම ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයන් සාමාන්‍ය ප්‍රදේශවල ජීවත්වන්නවුන්ට වඩා යහපත් සෞඛ්‍යයෙන් යුක්ත වන අතර වැඩි කාලයක් ජීවත් වේ. මෙයද භූ වෛද්‍ය  විද්‍යාවේ බොහෝ ගවේශණයන් සිදුකළ යුතු කොටසක් බවට පත්ව ඇත.

බාධක බිඳ දැමීම

මෙහිදී මවිසින් පෙන්වන ලද උදාහරණයන් මඟින් ඔප්පු වන්නේ භූ විද්‍යාව යනු තවදුරටත් ඛනිජ හා පාෂාණ පමණක් පිළිබඳව යෙදෙන අධ්‍යයනයක් නොවන බවයි. මගේ විශ්වාසයට අනුව භූ වෛද්‍ය  විද්‍යාව දියුණුවත්ම භූ විද්‍යාව කොතෙක් දුරට නොයෙක් ලෙඩ රෝග ඇති කිරීමට දායක වේද යන්න සොයාගැනීමට වෛද්‍ය  විද්‍යාඥයන් පෙළඹෙනු ඇත. භූ වෛද්‍ය  විද්‍යාව හා භූ රසායනය අධ්‍යනය කිරීම මඟින් යම් ප්‍රදේශයක වෙසෙන ජනතාවට කරුණු බොහොමයක් දැනගත හැක. මෙහිදී එම ප්‍රදේශයේ ඛනිජ, පාෂාණ, පස, ජලය, ගස් කොලන් හා ආහාර යන සියල්ල හා පවත්නා ලෙඩ රෝග සම්බන්ධ කර ගත යුතු වේ.
ශරීරය තුළ ක්ෂුද්‍ර මූලද්‍රව්‍යයන්ගේ හැසිරීම, ඒවායේ ජෛව රසායනික ක්‍රියාවලි, ක්ෂුද්‍ර මූලද්‍රව්‍යයන් ශරීරයෙන් ඉවත් කිරීම හා ලබාගැනීම, සෛල ක්‍රියාවලින් ආදිය වෛද්‍ය   විද්‍යාඥයින් විසින් සොයා යෑමේදී භූ විද්‍යාව හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍යයන්ගේ භූ රසායනය දැන ගැනීමේ අවශ්‍යතාවය දැනෙනු ඇත.
භූ විද්‍යාව හා වෛද්‍ය  විද්‍යාව අන්ත දෙකක පවතින්නා වූ විෂයයන් ද්විත්වයක් ලෙස මෙතෙක් සිතා සිටියද එම විෂයන්ගේ එක්වීම පවත්නා සුවිශේෂී රහස් හෙළි දරව් කරන්නක් බැව් දැන් දැන් මනාව පැහැදිලි වේ.



මහාචාර්ය සී. බී. දිසානායක
පරිවර්තනය: ආචාර්ය මෙත්තිකා විතානගේ

blog comments powered by Disqus
2005 - 2011 All Rights Reserved by CATKAN Foundation & Institute of Fundamental Studies-Sri Lanka