විදු නැණ කිරණScience Dissemination Unit

විද්‍යා ප්‍රබන්ධ / විද්‍යා ලිපි

අපේ දින චරියාවෙන් මතුවෙන විද්‍යාව

විජය - 2012 අගෝස්තු 21
සටහනඃ තක්ෂලි හපුආරච්චි
තොරතුරු- ආචාර්ය කුමාරි තිලකරත්න (සම්බන්ධිකාරක- විද්‍යා ව්‍යාප්ති අංශය- මූලික අධ්‍ය්‍යන ආයතනය)


    අපි මහන්සිවෙලා විද්‍යා විෂයයන් ඉගෙන ගන්නවා. ඒත් ඒවායින් එදිනදා ජීවිතයට කිසි ප්‍රයෝජනයක් නෑනේ”
            “ඒක නම් ඇත්ත. මේ විෂය කරුණු ඉගෙනගෙන විභාගෙට උත්තර ලියනවා විතරයිනෙ”
            “මොනවද දෙන්නත් එක්ක කතාවෙන්නේ?”
            “ටීචර් අපි විද්‍යාව විෂය ඉගෙන ගන්නවා. ඒත් එයින් එදිනෙදා ජීවිතයට කිසි ප්‍රයෝජනයක් නෑනේ”
            “ම්...ම්... රුවන් එහෙමද හිතන්නේ? මම ඔය දෙන්නට පුංචි වැඩක් පවරන්නම්”
            “ඒ මොකක්ද ටීචර්?”
            “උදේ නින්දෙන් නැගිටපු වෙලේ ඉඳලා ඉස්කෝලෙට ඇවිත් ඉස්කෝලේ පටන් ගන්න තුරු කරන වැඩ සහ කෙරෙන වැඩ ලැයිස්තුවක් ලියාගෙන එන්නකෝ...”
            මොනවද මම උදේ නැගිට්ට වෙලේ සිට කෙරුවේ? ම්...ම්... පළමුවැනි එක උදේ 6.00 ට අවදි වුණා... කාමරයේ ජනේලය විවෘත කළා.
            කෝ දැන් වැඩ ලැයිස්තුව ටීචර් එකින් එක සිදුවීම් පැහැදිලි කරන්න පටන් ගත්තා.

උදේ 6.00 ට අවදි වුණා. කාමරයේ ජනේලය විවෘත කළා.
            උදෑසන කාමරයේ ජනේලය විවෘත කළා. හිරු එළිය ගෙතුළට ගලාගෙන එනවා. මිනිසුන්ට ගහකොළට පමණක් නොවෙයි මුළු මහත් පෘථිවියටම ශක්තිය ලැබෙන්නේ සූර්යයාගෙන්. ඒ නිසා උදේ හිරු එළිය දකින විට හිත ප්‍රබෝධවත් වෙනවා.
            පෘථිවියට කි.මි. මිලියන ගණනක් ඈතින් සිටින සූර්යයාගේ අභ්‍යන්තරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදුවෙනවා. එම ප්‍රතික්‍රියාවලදී උපදින ශක්තිය තාපය සහ ආලෝකය විකිරණ ලෙස පිටතට එනවා. පෘථිවියට උණුසුම ලැබෙන්නේත්, ආලෝකය ලැබෙන්නේත්, සූර්ය විකිරණවලින්. හරිත ශාකවල තිබෙන ක්ලෝරෆිල්      වගේ ප්‍රභාසංශ්ලේෂී වර්ණක මේ සූර්ය ආලෝකය උරාගන්නවා. ජලයත්, කාබන්ඩයොක්සයිඩ් වායුවත් හිරු එළියත් ප්‍රයෝජනයට අරන් ආහාර නිපදවනවා. ගහකොළ නිපදවන මේ ආහාරවලින් තමයි හැමදෙනාම ජීවත්වන්නේ.

විදුලි කේතලයෙන් වතුර උණු කළා.
            අපිට විවිධ කටයුතු කරගන්න ශක්තිය අවශ්‍යයි. සූර්යාගෙන් ලැබෙන ආ‍ලෝක ශක්තිය වගේම බොහොම ප්‍රයෝජනවත් ශක්තියක් තමයි තාප ශක්තියයි. එබඳු තවත් ප්‍රයෝජනවත් ශක්තියක් වන්නේ විදුලියයි. රුවන් උදේට තේ හදන්න වතුර උණු කරගත්තේ විදුලි කේතලය පාවිච්චි කරල නේද?
            විදුලි කේතලය කරන්නේ විද්‍යුත් ශක්තිය, තාප ශක්තිය බවට පරිවර්තනය කරන එකයි. ඔබට මතකද මම දවසක් කියාදුන්නා ශක්ති සංස්ථිති නියමය ගැන. ශක්තිය අලුතින් බිහිවන්නේවත්, පවතින ශක්තිය නැතිවෙන්නේවත් නැති බව. ඒ වගේම ශක්තිය තවත් ශක්තියකට පරිවර්තනය වෙනවා කියලා. විදුලි කේතලය කරන්නේත් ඒ කටයුත්තයි.


විදුලිය පිරිමහගෙන ජලය උණුකර ගන්නත් සැලකිලිමත්වුණා.
            න්‍යෂ්ටික බලයෙන්, ජල බලයෙන්, ඩීසල් ඉන්ධන බලයෙන්, සුළං බලයෙන්, ගල් අඟුරු දහනයෙන් ආදී නොයෙක් ක්‍රමවලින් විදුලිය නිපදවනවා. මේ විදුලිය අපිට එදිනෙදා ජීවිතයේදී බොහෝ ප්‍රයෝජනවත්.
            ඒත් මේ විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන්න ඕනෑ. නැත්නම් අපට අනාගතයේදී විදුලි බලය නොමැතිව ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. විදුලිය අරපිරිමහගන්න ඕනෑ නිසයි අපි විදුලි කේතලයෙන් වතුර උණුකරද්දී ගෙදර සාමාජිකයන්ට සරිලන පමණට වතුර උණුකරගත්තේ. වැඩි වතුර ප්‍රමාණයක් උණු කරගන්න නම් වැඩි විදුලි ප්‍රමාණයක් වැය කරන්න වෙනවා.
            ඒ වගේම කේතලේ හදලා තියෙන්නේ සුදු යකඩ කියන මිශ්‍ර ලෝහයෙන්. මේ නිසා ඉක්මනින් රත්වෙනවා. එවිටත් විදුලිය පිරිමැහෙනවා. ඉතිරි වුණු උණුවතුර ටික අම්මා උණුවතුර බෝතලයෙ දැම්මා නේද? එවිට නැවත විදුලිය වැය කරන්න ඕනෑවෙන්නේ නැහැ. උණුවතුර බෝතලය වතුරවල උණුසුම රඳවාගන්නා නිසා.


උදේට කිරි තේ හැදුවා.
            අම්මා තේ කොළවලට උණුතුර දමා තැම්බෙන්නට තිබ්බා. පිටි, සීනි, කෝප්පයට දමා කලවම් කළා ඉන්පසු තේ කහට එක්කර තේ හැන්දෙන් හොඳින් හැඳි ගෑවා. කැට සීනි උණුවතුරේ ඉක්මනින් දියවෙනවා. මතකද දවසක් කියා දුන්නා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක ගැන. රත් කිරීම නිසා ප්‍රතික්‍රියාවක ශ්‍රීඝ්‍රතාව වැඩිවෙනවා. ඒ නිසායි උණු ජලයේ සීනි ඉක්මනින් දියවෙන්නේ. හැබැයි සීනි සීතල ජලයේ ඉක්මනින් දියවෙන්නේ නැහැ.
            තව දෙයක්. සීනි ජලයේ හොඳින් දියවුණාට කිරිපිටි ජලයේ අද්‍රාව්‍යයි. කිරිපිටි දිය කළ විට ලැබෙන්නේ කලිල ද්‍රාවණයක්.


 දර ලිප පත්තු කළා.
            අම්මාට දර ලිප පත්තු කරලා දුන්නලු ‍නේද? කොහොමද ලිප පත්තු කළේ? ‍ොහඳින් වේළුණු පොල් කොළ, හනසු කැබලි, දර පොතුවලින් නේද මුලින්ම ලිප පත්තු ක‍ළේ. මේවයේ ජීවලන අංකය පහළ අගයක් ගන්න නිසා ඉක්මනට ගිනි ඇවිළෙනවා. තෙත පොල් නොළවලින් ඉක්මනින් ලිප පත්තු කරගන්න බැහැ. ඒ ජීවලන අංකය ඉහළ නිසා. ඊට පස්සේ පලාගත්ත තරමක් ලොකු දර කැබලි ඊට උඩින් ඇහිරුවා නේද? දර ‍හොඳින් ඇවිළෙන්න නම් දහන පෝෂකය වන ඔක්සිජන් වායුවත් අවශ්‍යයි. ඒ නිසා නේද දර ලිප ඇතුළේ ඉඩකඩ රැ‍‍දෙන විදිහට දර ඇහිරුවේ?
            දර ඇවිළෙන විට කුස්සිය ඇතුළේ දුම පිරුණා. මේ දුමේ කාබන් මොනොක්සයිඩි වායුව පිරිලා තියෙනවා. එයින් අම්මාට ශ්වසන ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ගෙතුලට අලුතින පියන් විවෘත කරන්නේ මේ දුම් පිටවෙලා යන්නයි. මුළුතැන්ගෙයි පෝරණුව නිවැරදිව හදලා තියෙනවා නම්, එහි සුළං කවුළු සුළං හමායන දිශාවලට අනුව තියෙනවානම් කුස්සිය ඇතුළේ දුම පිරෙන්නෙ නැහැ.


අම්මා සහල් ගැරුවා.
            අම්මා උදේට ඉව්වේ රතු නිවුඩු සහල් බත්, සහල් සෝදද්දී අම්මා හුඟක් පරිස්සම් වුණා. නෑඹිලියේ දාලා සහල් කරන විට කුඩා වැලි නෑඹිලියේ පතුලේ රැඳුණා. කුඩා වැලි කැට සහල්වලට වඩා බරින් වැඩියි. සහල් ගරද්දී නෑඹිලිය කරකවනවා. එවිට කේන්ද්‍රාපසාරී බලයක් ක්‍රියාත්මක වෙනවා. බර අඩු සහල් උඩට ඇවිත් බරින් වැඩි ගල් නෑඹිලිය පතුලේ එකතු වෙන්නේ එවිටයි. ඒ වගේම අම්මා සහල් වැඩිපුර සේදුවෙත් නැහැ. ඒ සහල් නිවුඩු වතුරේ සේදී යන නිසා. මේ නිවුඩ්ඩේ විටමින් B අඩංගුයි. එය අපට අත්‍යවශ්‍ය විටමිනයක්.


කඩල පරිපුපු ව්‍යාංජනයට ලුණු දැම්මේ නෑ.
            රතු සහලේ බතට හැදුවේ කඩල පරිප්පු ව්‍යාංජනයක්, මිරිස් තුනපහ අනෙකුත් කළමනා දාලා කඩල පරිප්පු ව්‍යාංජනය ලිපේ තිබ්බත් අම්මා එයට ලුණු එකතු කළේ පරිප්පු තැම්බුණාට පස්සෙයි. පරිප්පු ඇට තැනිලා තියෙන්නෙත් සෛල ගණනාවකින්. පරිප්පු ඇට තැම්බෙනවා කියන්නේ මේ සෛල බිත්ති බිඳගෙන ජලය සෛල තුළට ගමන් කරනවිටයි. ඒත් ලුණු එක්කල විටදී සෛල බිත්තියේ වරණිය පාරගම්‍යතාව නිසා ලුණු මිශ්‍ර ජලයේ සෛල තුළට ඇතුළු විය නොහැකියි. මේ නිසා කඩල පරිප්පු පිසින විට පරිප්පු තැම්බුණාට පසුවයි ලුණු එක්කරන්නේ.


 හාල්මැස්සන් බැදුම හදද්දී කරමූඩිය හිරවුණා.
            රුවන් කැමති මැටි වළ‍දේ හදන හාල්මැස්සන් බැදුමට නේද? මැටි වළදේ පිසින කෑම රසයිනේ අම්මා හාල්මැස්සන් බැඳුම මැටි වළදේ හැදුවට වළද වැහුවේ ඇලුමිනියම් කරමූඩියෙන්. රත්වෙනවිට ඇලුමිනියම් කරමූඩිය වළදේ හිර වුණා. රත් වනවිට ඝන, ද්‍රව, වායු ඕනෑම දෙයක් ප්‍රසාරණය වෙනවා. ඇලුමිනියම් කරමූඩිය ප්‍රසාරණය වුණේ ඒ නිසයි. දරලිපේ ගින්දර අයින් කරලා තෙත රෙද්දක් අරන් ඇලුමිනියම් කරමූඩිය උඩින් තිබ්බා කීවා නේද? එවිට රෙදි කැබැල්ලේ තෙතමනය නිසා කරමූඩිය සිසිල් වෙනවා. නැවතත් එවිට කරමූඩිය ‍සංකෝචනය වෙනවා. ඒ නිසයි වළ‍දෙන් කරමූඩිය ගලවාගන්න පුළුවන් වුණේ.   


 පරිප්පුයි හාල්මැස්සොයි කෑවම මුත්‍රා ගල් හැදෙන්න පුළුවන්.
            හැබැයි අම්මා අද උදේ හැදූ කෑම වේලේ පුංචි අඩුවක් වෙලා තියෙයනවා. මම උගන්වා ඇති මූත්‍රා ගල් පිළිබඳව. පරිප්පු සමග හාල්මැස්සන් එකම ආහාරවේලකට එක්කර ගැනීමෙන් මූත්‍රා ගල් සෑදීමේ ඉඩකඩ වැඩිවෙන්න පුළුවන්. ඒකට හේතුව හාල්මැස්සන්ගේ කැල්සියම් ද පරිප්පුවල ඔක්සලේට් ද තිබීමයි. මේ දෙක එකතුවෙලා කැල්සියම් ඔක්සලේට් හැදෙන්න තියෙන හැකියාව වැඩියි. මූත්‍රාගල් ඇතිවෙන්නේ කැල්සියම් ඔක්සලේට් නිසයි. ඒත් රාබු වගේ එළවළු වලට මේ කැල්සියම් ඔක්සලේට් දියකිරීමේ හැකියාව තිබෙනවා.


පොල් සම්බෝලයක් හැදුවා මිරිස් ගලේ අඹරලා.‍
            අම්මා පොල් සම්බෝලේ හැදුවේ මිරිස් ‍ගලේ අඹරලා නේද? මිරිස් ගල ආහාර ද්‍රව්‍ය අඹරා ගැනීමට අතීතයේ සිට යොදගත් සරල උපකරණයක්. ඇඹරුම්ගලට බලය යොදලා එය මිරිස් ගල මත ඉදිරියට පසුපසට ගෙනයාමෙනුයි ආහාර ද්‍රව්‍ය අඹරා ගන්නේ.
            ඔබ දකින්න ඇති වියළි මිරිස් කරල් ඇඹරීම අපහසුයි. ඒ නිසා වියළි මිරිස් කරල් අඹරද්දෟ ලුණු කැට සමග එකට මිශ කරන්නේ ලුණු කැටවලින් ඝර්ෂණය වැඩි කරන නිසායි. එවිට වියළි මිරිස් කරල් ‍හොඳින් අඹරාගත හැකියි.  


ගේ අතුගාලා මිදුලත් අතුගෑවා.
            උදේට පාසල් එන්න කලින් ගෙදර දොර වැඩට උදව්වෙන එක බොහෙම ‍‍හොඳ වැඩක්. එයින් අම්මාට ටිකක් විවේකිව සියින්න ඉඩකඩ ලැබෙනවා අප හැමිට අප අවට පරිසරය පිරිසිදුව තබා ගන්න ඕනෑ. දිනපතා ගේ අමදින විට මකුළු දැල් ඉවත් වෙන්න ‍හොඳින් අතුගාන්න ඕනෑ. නැත්නම් අප වෙසෙන පරිසරය අප්‍රසන්න වෙනවා. දූවිලි මකුළු දැල් ආදිය ආශ්වාස වීමෙන් අපට විවිධ ශ්වසන රෝග ‍හැදෙන්න පුළුවන්. ඒ වගේම අප වෙසෙන පරිසරය පිරිසිදු වුණාම එයින් අප ශාරිරිකව වගේම මානසිකවත් පීඩාවට ලක්වෙනවා.
            නිසි තැන නිසි භාණ්ඩය තියලා ගේ දොර පිරිසිදුව තබා ගැනීම යහපත් ජීවිතයකට ඉතාම වැදගත්. ගේ දොර මිදුලේ, අතුපතුගාලා පිරිසිදුව තියාගන්නෙ අන්න ඒ නිසයි.


දත් මැද්දා.
            අප අපේ ශරීරයේ පිරිසුදු බව ගැනත් සැලකිලිමත්වන්න ඕනෑ. නිරෝගි ජීවිතයකට එය ඉතා වැදගත්. උදේට පාසල් එන්න කලින් දත්මැදලා මුව සෝදන්න ඕනෑ. දත් මදිද්දී ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප වර්ගයක් භාවිත කරන්න. ෆ්ලෝරයිඩ් කියන්නේ දත්වල නීරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්.
            දත්වල රැඳුණු අපද්‍රව්‍ය ඉවත්වෙන විදිහට අඩුම තරමින් විනාඩි පහක්වත් ‍‍හොඳින් දත් මදින්න ඕන. දත් අපගේ ආහාර ජීර්ණයේදී ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා. අප‍ගේ මුඛයේ කෘන්තක, රදනක, පුරස්චාර්වක, චාර්වක යනුවෙන් දත්වර්ග 4 ක්  තියෙනවා. ආහාර ද්‍රව්‍ය කඩා ගැනීමට, ඉරා ගැනීමට, පොඩි කර ගැනීමට, අඹරා ගැනීමට දත් සහාය වෙනවා. දතේ එනමලය පහසුවෙන් දිරා යා හැකියි. එය වළක්වා ගැනීමටයි උදේ හවස දත් මදින්නේ.


සබන් ගාලා මුහුණ සේදුවා
දත් මැද්දට පස්සේ හොඳින් මුහුණ අත පය සෝදාගන්න ඕනෑ. සබන් ගෑ විට තෙල්, කුණු, දූවිලි ඉවත් වී යනවා. සබන් හදන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ශාක තෙල්, ලුණු ආදිය මිශ්‍ර කරලා. ශරීරයේ වගේම රෙදිවල තිබෙන කුණු සබන් සමග රායනිකවම බැදෙනවා. මේ නිසා පිරිසුදු ජලයෙන් සේදූ විට සබන් සමග කුණු ජලයේ දියවී ඉවත් වෙනවා.  


උදේට කෑවා පෝෂණය පිරිණු බත් පිඟානක්.
            දවසේ අප ගන්නා ආහාර වේල් අතර ඉතාම වැදගත් වෙන්නේ උදේ ආහාරයයි. රාත්‍රියේ පැය ගණනක් (පැය 8 – 10 තරම්) නිරාහාරව සිටීමෙන් පසුව ගන්නා ආහාර වේල නිසා එය පෝෂ්‍ය පදාර්ථවලින් යුක්ත විය යුතුයි.


උදේ 7.00 නිවසින් පිටත් වුණා. දියසෙවල තිබුණු තැනක ලිස්සලා වැටෙන්න ගියා.
            පාසල් යද්දී අප සපත්තු පලඳිනවා. මේ සපත්තුවල කට්ටා තිබෙන්නේ ළිස්සලා යාම වළක්වන්නයි. මේ කට්ටාවලින් සපත්තුවත් එය ගැටෙන පෘෂ්ඨයත් අතර ඝර්ෂණය වැඩි කරනවා. ඝර්ෂණය නිසා ලිස්සන්නේ නැහැ. ඒත් සපත්තුවේ කට්ටා ගෙවී ඇත්නම් පහසුවෙන් ලෙස්සලා යනවා. දන්නවාද දිය සෙවල රුඳුණු තැන්වල, වතුර හැලුණු සිමෙන්තියේ, මඩ රැඳුණු පාරක නම් ඝර්ෂණය තවත් අඩු නිසා පහසුවෙන් ලෙස්සලා යනවා.


උදේ 7.05 ට පාසල් බසයට නැග්ගා.
            හැමදාම පාසල් එන්නේ පාසල් බස් රථයේ නේද? රුවන්ලාගේ ගේ ළඟ ඉඳන් පාසලට කි.මි. 05 ක විතර දුරක් තියෙනවා. අද බස් එක විනාඩි 5 කින් ඇවිල්ලා නේද? බසයේ වේගය හොයන හැටි මතකද? ගමන් කළ මුළු දුර ගතවූ කාලයෙන් බෙදුවම වේගය ලැබෙනවා. ඒ කියන්නේ අද උදේ බස් එක විනාඩියකට කි.මි. 1ක වේගයෙන් ඇවිල්ලා.


බස් රථයෙන් කළු දුම පිටවුනා.
            බසය ධාවනය වෙන්නේ ඩීසල් ඉන්ධන දහනයෙන් ලබාගන්නා ශක්තියෙන්. ඒත් අපේ පාසල් බසයෙන් කළු දුමාරයක් පිටවෙනවා දැකලා ඇතිනේ. ඒකට හේතුව ඩීසල් ‍හොඳින් දහනය නොවීමයි.
            මේ කළු දුමාරය නිසා වායුගෝලයට අහිතකර වායු රැසක් සිටවෙනවා. සල්ෆර්ඩයොක්සයිඩ්, නයිටජන් ඩයොක්සයිඩ් වගේ ආම්ලික වායු ඒ අතර තිබෙනවා.
            ඒ වගේම අපේ පාසල් බසයේ ඉන්ධන කාර්යක්ෂමතාවයත් ‍බොහොම අඩුයි. කළු දුම් විදියට පිටවෙන්නේ නොදැවුණු ඩීසල් අංශුනේ.
            ඩීසල් කියන්නේ බොරතෙල් පිරිපහදුවේදි වෙන් කරගන්නා එක් ඉන්ධන වර්ගයක්. බොරතෙල් භාගික ආසවනයට ලක්කරලා පෙට්‍රෝල්, භූමිතෙල්, ඩීසල්, දැවිතෙල් ආදී වශයෙන් ප්‍රයෝජනවත් ඉන්ධන වර්ග රැසක් වෙන්කර ගන්නවා.


බසයේ හදිසියේ තිරිංග ක්‍රියාත්මක කළා. කිහිපදෙනෙක් වැටෙන්න ගියා.
            උදේ වරුවේ බස් රථවල සෙනග වැඩියි. කාර්යාලවලට හා පාසල්වලට යන මගීන්ගෙන් බස් පිරලා. හදිසයේ මගියෙක් පාර පැනලා. බස් රථයේ රියදුරු තැන තිරංග ක්‍රියාත්මක කළා කීවා නේද? මොකද වුණේ. හුඟක් අය ඉදිරියට තල්ලු වෙලා යන්න ඇති නේද? එහෙම වෙන්නේ සාපේක්ෂ ප්‍රවේගය නිසා. බසය ගමන් කරනවිට එම බස් රථයේ ගමන් කරන්නන් මෙන්ම එහි තිබෙන සෑම වස්තුවක්ම බස් රථයේ වේගයෙන් ගමන් කරනවා. හදිසියේ තිරිංග ක්‍රියාත්මක කළ විට බස් රථය නතර වුවත් එහ ගමන් කරන්නන්හට හෝ එහි ‍තිබෙන වස්තුවලට තිරිංග යෙදීමක් සිදුවෙන්නේ සැහැ. මේ නිසා තිරංග ක්‍රියාත්මක වූ සැණින් බස් රථයේ ගමන් කරන්නන් ඉදිරියට තල්ල වී යනවා.  


 බෑගයත් බර වැඩියි. බෑගයත් පිටේ එල්ලගෙන පාසලට ගියා.
            මම දැක්කා උදේ රුවන් බෑගයත් පිට් එල්ලගෙන පාසලට එනවා. කොනදත් නමාගෙන නේද ආවේ? පාසල්බෑගය නියමිත ප්‍රමිතියෙන් තිබිය යුතුයි. බර අධික ලොකු බෑගයක් පිටේ එල්ලාගෙන යන විට අපේ සිරුරේ ගුරුත්ව කේනද්‍රය වෙනස් වෙනවා. මේ නිසා කොඳු නාරටිය ඉදිරියට නැමී සිරුරේ සමබරතාව පවත්වා ගන්නවා.
            දිනපතා මේ ආකාරයට පොත් බෑගයක් පිටේ එල්ලගෙන යාමෙන් කොන්ද නැවී කුදු වීමට පුළුවනි. ඒත් පිටේ එල්ලගෙන යන ඇතැම් පොත් බෑගවල ඉඟ ප්‍රදේශයට සවිවන පටියක්ද වෙයි. එයින් බෑගයෙන් ‍කොඳු නාරටිය මත යෙදෙන බලය බෙදීයන බැවින් කොඳුනාරටියට වන බලපෑම් වළක්වාගත හැකියි.


සීනුව නාද කළවිට උදේ රැස්වීමට පෙළ ගැසෙන්න සීනුව නාද වුණා.
            පාසලට ගොස් විනාඩි 20 කින් පමණ සීනුව නාද වෙන හඬ ඇසුණා කීවා නේද? ශබ්දය තරංගයක්. මේ ශබ්දය වාත අංශු කම්පනය කරනවා. මේ ශබ්දය අපිට ශ්‍රවණය වෙන්නේ කොහොමද? අපේ සිරුරේ මේ ශබ්දය ශ්‍රවණයට විගේෂ ඉන්ද්‍රියක් තිබෙනවා. එය තමයි කන.
            ශබ්ද තරංග මගින් කන් බෙරය කම්පනය කරනවා. කන් බෙරය කම්පනය වනවිට මේ කනට සම්බන්ධ ස්නායු මේ සංවේදන ප්‍රතිග්‍රහණය කරගෙන පණිවුඩ මොළය වෙත රැගෙන යනවා. මොළයෙන් ඒ ශබ්ද හඳුනාගන්නවා.
            ආරක්ෂාවට, අදහස් හුවමාරු කරගන්නට හා සංගීතයේදී මේ ශබ්දය බොහොම වැදගත්. හැබැයි අපට ඇසෙන්නේ හර්ට්ස් 20 ත් 20,000 ත් අතර ශබ්ද තරංගයි.
            ඒත් බල්ලාට අපට නොඇසෙන ඉතා සියුම් ශබ්ද පවා හොඳින් ඇසෙනවා. ඒ බල්ලාගේ ශ්‍රවණ පරාසය අපට වඩා ‍පුළුල් නිසයි.


ශබ්ද විකාශන යන්ත්‍රයෙන් පාසල් ගීතය ඇසුණා.
            පන්සිල් ගත්තට පස්සේ ශබ්ද විකාශන යන්ත්‍රය ඔස්සේ පාසල් ගීතය විකාශනය වුණා. මේ ශබ්ද විකාශන යන්ත්‍රය මගින් ශක්ති පරිවර්තනයක් කරනවා. එහිදී විද්‍යුත් ශක්තිය ධ්වනි ශක්තිය බවට පරිවර්තනය කරනවා. ඒ වාගේම ඊට සම්බන්ධ උපකරණ මගින් හඬ අඩු වැඩි කරන්නත් පුළුවන්.


විනාඩි 15 ක් ව්‍යායාම්වල නිරත වුණා.
            උදෑසන රැස්වීමෙන් පස්සේ විනාඩි 15 ක් පමණ හැමෝම ව්‍යායාම්වල නිරත වෙනවා නේද? මේ ව්‍යායාම් නිසා ‍හොඳින් ආශ්වාස, ප්‍රාශ්වාස, සිදුවෙනවා. එවිට ඔක්සිජන් වායුව රුධිරය සමග ‍හොඳින් මිශ්‍ර වෙනවා. සිරුරේ සෑම සෛලයකටම හොඳ රුධිර සැපයුමක් ලැබෙනවා.
            අනෙක් වේලාවලට වඩා මේ විදිහට ව්‍යායාම්වල නිරත වෙද්දී මොළයට හොඳ ‍රුධිර සැපයුමක් ලැබෙනවා. එහි ප්‍රතිළුලය වන්නේ ප්‍රබෝධවත් ලෙස දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට හැකිවීමයි. එම නිසා ඉගෙනීම ලබන දරුවෙකු ව්‍යායාම්වල නිරතවීම ඉතා වැදගත්.


2005 - 2011 All Rights Reserved by CATKAN Foundation & Institute of Fundamental Studies-Sri Lanka