විදු නැණ කිරණScience Dissemination Unit

විද්‍යා ප්‍රබන්ධ / විද්‍යා ලිපි

කැපූ නියපොතු පෑගුණොත් දුප්පත් වෙනවද?

විජය - 2012 සැප්තැම්බර් 03
සටහනඃ තක්ෂලි හපුආරච්චි
තොරතුරු- ආචාර්ය කුමාරි තිලකරත්න (සම්බන්ධිකාරක- විද්‍යා ව්‍යාප්ති අංශය- මූලික අධ්‍ය්‍යන ආයතනය)


“නියපොතු කපලා පෑගෙන්න දාන්න එහෙම එපා. ඕවා පෑගණොත් දුප්පත් වෙනවා” කවුරුන් හෝ නියපොතු කපනු දුටුවොත් වැඩිහිටියෝ එසේ පවසති.
මේ කථාවේ, ඇත්ත නැත්ත කුමක් වුවත් දුප්පත් වෙන්න අකමැති නිසා දෑතේ සහ දෙපයේ නියපොතු කැපූ පසු ඒවා නොපෑගෙන තැනකට දැමීමට කොයි කවුරුත් පුරුඳු වී සිටිති.
ගතානුගතිකව පැවත එන මෙවැනිමතයන් ඇතැමුන් පිළිගන්නේ අන්ධ විශ්වසයකින් යුතුවය. එහෙත් මේ මතයේ මිසා බැලිය යුතු සත්‍යයක් තිබේ.
අපේ සිරුරේ යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට නම් නිය පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත්ය. බොහෝ දෙනා විලාසිතාවක් ලෙස නියදික් කළද මේ නියවල පිරිසිදු බව පිළිබඳව එතරම් සැලකිලිමත් නොවේ. දෑතේ සහ දෙපයේ නියවල විෂබීජ රැ‍දේ. දෑතේ නියවල රැඳි විෂබීජ ආහාර සමග සිරුරට ඇතුළුවිය හැකිය. එමෙන්ම දෑත්වල හා දෙපාවල රැඳි නිය තුළ රුඳුණු  විෂබීජ සම මතුපිට තුවාලයක් වූ තැනින්, සම මතුපිට කැසීමේදි ඇතිවන සීරිම්වලින් සිරුරට ඇතුළු විය හැකිය.
            මේ විෂබීජ ආසාදනය වීමෙන් උදරාබාද හා නොයෙක් ආසාදන ඇතිවිය හැකියි. මෙසේ නිය පොත්තෙන් සිදුවූ සුළු තුවාලයක් ආසාදනය වීමෙන් පුද්ගලයින් මිය ගිය අවස්ථා ද වාර්තා වේ.
            දෑතේ නියවලට වඩා පාදයේ නියවල විශාල ලෙස විෂබීජ රැඳී තිබිය හැකියි.මෙලෙස විෂබීජ රැඳුණු නිය කපා තැන තැන දැමීමෙන් ඒවා පෑගී තුවාල සිදුවිය හැකිය. නිය පොත්තක් පෑගීමෙන් සුළු තුවාලයක් සිදු වුවද බොහෝ විට ඒ කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වයි. එහෙත් නියපොතුවල රැඳි විෂබීජ නිසා එම තුවාල ආසාදනයෙන් එම තුවාල දරුණු විය හැකියි. ඊට ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් වැයවේ. නියපොතු පෑගුණොත් දුප්පත් වෙනවා යැයි පැරැන්නන් අදහස් කරන්නට ඇත්තේ එහෙයිනි. එබැවින් නියපොතු කැපු පසු ඒවා නොපෑගෙන තැනකට දැමීම ‍හොඳ පුරුද්දකි.
            නියපොතු කැපූ කැපූ තැන දමන්නට නැතහොත් නිය කටරය තුළම තිබෙන්නට හරින නරක පුරුද්දක් ඇතැමුනට තිබේ. කැපූ කැපු තැන නියපොතු දැමීමෙන් අන් අය තුළ ඇතිවන්නේ අප්‍රසන්න හැඟීමකි. එය නිවෙසට අපිරිසිදු බවක් ද එක් කරයි. නිවෙසේ කුඩා දරුවන් සිටීනම් මේ නිය පෑගීමෙන් දරුවන්ගේ ලපටි දෙපා තුවාල වීමටත් පුළුවන. කුඩා දරුවෝ බොහෝ විට අතට අසුවන දේ කටට දමා ගනිති.
            එබැවින් කුඩා දරුවන් සිටින නිවෙසක වැඩිහිටියන් නියපොතු කපා ඒවා නිසි ලෙස ඉවත් කරන්නට වඩාත් සැලකිලිමත් විය යුතුය. මේ අයුරින් නියපොතු කපා ඒවා නොපෑගෙන තැනක දැමීමටත් තම නිය පිරිසිදුව තබා ගන්නටත් සැලකිලිමත් වන්න. විශේෂයෙන් ගෘහණියන් තම නිය පිරිසිදුව තබා ගන්නට සැම විට සැලකිලිමත් විය යුතුය. ඒ ආහාර පිසීමේ දී නියවල රැඳි විෂබීජ මේ ආහාර ද්‍රව්‍ය සමග සිරුරට ඇතුළු වී පවුලේ හැම දෙනා ලෙඩ කරවිය හැකි බැවිනි.


2005 - 2011 All Rights Reserved by CATKAN Foundation & Institute of Fundamental Studies-Sri Lanka