විදු නැණ කිරණScience Dissemination Unit

විද්‍යා ප්‍රබන්ධ / විද්‍යා ලිපි

පීඩනයෙන් ලැබෙන වාසි ඒ වගේම වෙන අවාසි

විජය - 2012 ඔක්තෝ බර් 30
සටහනඃ තක්ෂලි හපුආරච්චි
තොරතුරු- ආචාර්ය කුමාරි තිලකරත්න (සම්බන්ධිකාරක- විද්‍යා ව්‍යාප්ති අංශය- මූලික අධ්‍ය්‍යන ආයතනය)


කාන්තරයේ නැව ලෙස හඳුන්වන ඔටුවා මේ කාන්තාරයේ වැලි මතුපිට නොඑරී ගමන් කරයි. ඒ, මෙම වැලි තිරයේ ගමන් කිරීමට උචිත අයුරින් ඔටුවාගේ පාද සැකසී ඇති බැවිනි.
උගේ පාදවල පතුල් විශාල මෙන්ම පැතලිය. එම නිසා පත්ලේ වර්ගළුලය වැඩිවීමෙන් පතුල් මත යෙදෙන පීඩනය අඩුය.
එහෙත් ඇල්පෙනෙත්තක කෙළවර ඇත්තේ තියණු තුඩකි. එහි වර්ගළුලය අඩු නිසා ඇල්පෙනෙති තුඩෙන් කඩදාසිය මත වැඩි පීඩනයක් යෙදූ විට එය සිදුරු වේ.
ඒකක වර්ගළුලයක් මත යෙදෙන බලය පීඩනය නම් වේ. පෙරකී ආකාරයෙන් එදිනෙදා ජීවිතයේ නොයෙක් කටයුතුවලදී පිඩනය අපට ප්‍රයෝජනවත් වන අවස්ථා ද අපගේ කටයුතුවලට බාධාවක් වන අවස්ථාද රැසකි.
මේ ලිපිය පීඩනය අපට වැසිදායක හා අවාසිදායක වන අවස්ථා කිහිපයක් පිළිබඳවයි.

පීඩනය නැතිනම් ඉඳිආප්ප කන්න වෙන්නෙත් නෑ.
            ඉඳිආප්ප බොහෝ දෙනා ප්‍රියකරන ආහාරයකි. පදමට අනාගත් පිටි ගුලියක් ඉඳිආප්ප වංගෙඩිය තුළට දමා පිස්ටනය හා සමාන කොටසින් පිටිගුලිය මත බලයක් යොදයි. එවිට ඇතිවන පීඩනය නිසා වංගෙඩියේ පතුලට සවිකර ඇති තහඩුවේ සිදුරු තුළින් පිටි එළියට පනී. සිහින රැල් වශයෙන් ඉඳිආප්ප වාෂ්පයෙන් තම්බා ගැනේ. ඒ ආකාරයට ඉඳිආප්ප සෑදීමට පීඩනය ප්‍රයෝජනයට ගනී. සාම්ප්‍රදායික ඉඳිආප්ප වංගෙඩියෙන් මෙන්ම නවීන ඉඳිආප්ප වංගෙඩියෙන් වුවද, ඉඳිආප්ප මිරිකා ගන්නේ පීඩනය ප්‍රයෝජනයට ගනිමිනි.


එන්නත් විදීමට පීඩනය ප්‍රයෝජනවත් වන හැටි.
            සිරින්ජරය තුළ ඇති ඖෂධ සිරුරට ඇතුළු වන්නේ එන්නත් කටුව ඔස්සේය. ඒ සඳහා පීඩනය ප්‍රයෝජනයට ගනී. පිස්ටනය ඉදිරියට තල්ලුකළවිට සිරින්ජරය තුළ ඇති ද්‍රවය මත පීඩනයක් යෙදේ. එවිට සිරින්ජරයට සවිකර තිබෙන එන්නත් කටුවේ කුඩා විවරය තුළින් වේගයෙන් ඖෂධ නිකුත් වේ.  


 පිහියෙන් එළවළු කපන්නත් පීඩනය වැදගත්.
            ආහාර සැකසීමේදී පිහියෙන් එළවළු, පලාවර්ග ‍හොඳින් කඩා ගැනීමට නම් එය මුවහත්ව තිබිය යුතුය. පිහියේ මිට මතට අඩු බලයක් යෙදූ විට වැඩි පීඩනයක් ලැබි ක්‍රියාත්මක වීමෙන් පහසුවෙන් එළවළු කපා ගැනීමටත් පලාකොළ සිහින්ව ලියා ගැනීමටත් හැකිවේ. පිහිය මුවහත් කළ විට එහි කැපුම්තලය තුනී වේ. වර්ගළුලය ද ඉතා අඩුය.


පීඩනයේ උදවුවෙන් පීඩන උඳුනෙන් ආහාර පිසින්න.
පීඩන උදුනෙන් (Pressure Cooker) අඩු ඉන්ධන පිරිවැයකින් ආහාර පිස ගත හැකිය. එය එය සැකසී ඇත්තේ එතුළ පීඩනය වැඩි අඩු ආකාරයටයි. මේ නිසා ආහාර ද්‍රව්‍ය සමග එහි ඇති ජලයේ තාපාංගකය (ජලය වාෂ්ප බවට පත් කෙරෙන උෂ්ණත්වීය) වැඩි වී ජලය සෙ.අ. 100 ද ඉක්මවා රත්වේ. මේ නිසා ආහාර දුව්‍ය ඉක්මනින් තැම්බෙයි. 


සුළි කුණාටු ඇති වෙන්නේත් පීඩනයේ බලපෑමෙන්.
සුළි කුණාටු වැඩිපුරම ඇති වන්නේ නිවර්තන කලාපීය ප්‍රදේශවලයි. සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය ප්‍රදේශවලට ‍හොඳින් හිරුඑළිය ලැබේ. එසේ දැඩි හිරු රැස් පතනය වන විට පොළොව රත්වීමෙන් ඊට ඉහළින් ඇති වාත අංශුද රත්වී ඉහළ නගී. මෙවිට මේ ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වේ.
මෙම අඩු පීඩන කලාපයේ හිස් අවකාශය පිරවීමට වැඩි පීඩනය සහිත ප්‍රදේශවල සිට සිසිල් වායු ධාරා වේගයෙන් හමා එයි. සුළි කුණාට ඇතිවන්නේ එවිටයි.


බර වැඩ කරන වාහනවලටත් පීඩනය අවශ්‍යයි.
දොඹකර, ඩෝසර්, ජේ.බී.සී. යන්ත්‍ර ආදියෙන් කාර්යයන් ඉටු කරනට පීඩනය ප්‍ර‍යෝජනයට ගනී. එය ද්‍රවස්ථිතික පීඩනය නම් වේ.
ද්‍රවයක් මතට පීඩනයක් යෙදූවිට එම පීඩනය ඒකාකාරව පැතිර යයි. ද්‍රවයක්මතට අඩු පීඩනයක් යොදා විශාල කාර්යයක් කර ගැනීමට මේ නිසා හැකි‍වේ. දොඹකර, ජේ.බී.සී. යන්ත්‍ර ඩෝසර් ආදියේ බර ඔසවනය, පස් කැපීමට හා තල්ලු කිරීමට යොදා ගන්නා කොටස් මෙහෙයවන්නේ ලීවරයකිනි. ලීවරයෙන් යොදන බලය ඒ හා සම්බන්ධව ඇති නලවල පුරවා තිබෙන ද්‍රව (Hydrolic Oil) මත පීඩනයක් ඇති කරයි. එම පීඩනය වැඩි බරක් එසවීමට, පස් කැපීමට, තල්ලු කිරීමට  සමත් වෙයි.
            රථ වාහනවල තිරිංග  පද්ධති ක්‍රියාත්මක වන්නේද ද්‍රවස්ථිතික පීඩනය ප්‍රයෝජනයට ගනිමිනි. වාහනයක තිරිංග පෑගිමේදී තිරිංග පද්ධතියේ නාලවල පුරවා ඇති ද්‍රව මත (Brake Oil) පීඩනයක් ඇති කරයි. එවිට එම ද්‍රව කඳ තල්ලු වී ගොස් රෝද හා සමග සම්බන්ධ පිස්ටන ඈත්වීමෙන් පසු රෝද නැවතේ. තිරිංග ක්‍රියාත්මක කළ විට වාහනයක් නතර වන්නේ ඒ ‍හේතුවෙනි.


 ගොඩනැගිලි ඉදිකිරීමේදී පීඩනය ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක්.
ගොඩනැගිලි ඉදි කළ යුත්තේ ඇස් මට්ටමට නොවේ. පිළිගත් ප්‍රමිති මට්ටමකටය. පොළොවට සිමෙන්ති දැමීම උළුවහු සවිකිරීම, බිත්ති බැඳිම ආදි කටයුතුවල දී පෙදරේරුවෝ (විනිවිද පෙනෙන දෙකෙළවර විවෘත ප්ලාස්ටික් බටයකට ජලය පුරවා සාදාගන්නා ජල මට්ටම) ලෙවල් බටය භාවිතා කරති.
එහිදී බටයේ මුල් කෙළවර නියමිත උස මට්ටමේ තබා අනෙක් කෙළවර අවශ්‍ය තැනට ගෙන යා යුතුයි. එවිට දෙකෙළවරේ ජල මට්ටම සමාන වූ විට නිවැරදි උස ලකුණු කර ගනී.
ලෙවල් බටය පරිහරණයේදී ප්‍රයෝජනයට ගන්නේ ජලය මත ක්‍රියාකරන වායුගෝලීය පීඩනයයි. එකම ද්‍රවයක් මත එකම උස මට්ටමමේදී ක්‍රියාකරන වායුගෝලීය පීඩනය සමාන වේ. පෙදරේරුවෝ එම සංසිද්ධිය ප්‍රයෝජනයට ගනිමින් ඉදිකිරීම්වල නිරත වෙති.


වාහනයක රෝදයක් ගලවද්දී ජැක්කුව බුරුල් පසේ එරෙනවාද?
වාහනයක බර දරා සිටින්නේ රෝද වලිනි. රෝද ගැලවීමට අවශ්‍ය විටකදි ඒ සඳහා ජැක්කුව භාවිතයට ගැනේ. රෝදයක් ගැලවීම සඳහා රෝදය තිබෙන පැත්ත පොළොවෙන් මඳක් ඉහළට එසවිය යුතුය. එවිට රෝදය වෙනුවට වාහනයේ බර දරාගෙන වාහනය ඔසවා සිටින්නේ ජැක්කුවයි. එහෙත් බුරුල් පස් සහිත තැනක වාහනයක් එසවීමේදී ජැක්කුව පොළොව තුළ එරී යයි.
කුඩා උපකරණයක් වූ ජැක්කුවෙහි වර්ගළුලය අඩුය. වාහනයේ බර නිසා ඇතිවන බලය මගින් එය මත පීඩනයක් යෙදේ. ජැක්කුව බුරුල් පසෙහි එරෙන්නේ එබැවිනි.
එවැනි විටක ලෑල්ලක් මත ජැක්කුව තැබූ විට ජැක්කුව මත යෙදෙන පීඩනය ලෑල්ල මත පැතිරේ. එවිට ලෑල්ල මත යෙදෙන අඩු පීඩනයෙන් ජැක්කුව පොළොවේ එරීම වළකියි.


අඩි උස පාවහන් පැලඳ තෙත මැටි පාරක යන්න බැහැ.
තාර පාරක හෝ වියළි පාරක මෙවැනි පාවහන් පැලඳ ඇවිදිය හැකිය. එහෙත් වැසි දිනවලදී මෙවැනි පාවහන් පැලඳ මැටි පාරක ඇවිදිය නොහැකිය. ඒ, පාවහන්වල සිහින් උස අඩිය මත යෙදෙන වැඩි පීඩනය නිසා තෙත මැටි සහිත පසේ පාවහන් එරී යා හැකි බැවිනි.
අපගේ පාදයේ පතුල පොළොවට සමාන්තරව පැතලිව සෑදී ඇත්තේ සිරුරේ බර නිසා ඇතිවන පීඩනය සමානව පැතිරී යන අයුරිනි. එහෙත් අඩි උස පාවහන් පැළඳ ඇවිදින විටදී සිරුරේ බර විලුඹ මත යෙදේ.


 කඳුකරයේදී ජලය නටන්නේ අඩු උෂ්ණත්වයක දී.
මුහුදු මට්ටමේ සිට ඉහළට යත්ම වායුගෝලයේ පීඩනය අඩුවේ. මේ නිසා උස් ප්‍රදේශවලදී අඩු උෂ්ණත්වයකදී ජලය නටයි. අඩු උෂ්ණත්වයකදී ජලය නැටීම රසවත් තේ කෝප්පයක් සාදා ගැනීමට බාධාවකි. තේ කොළවලින් තේ කහට ලබාගන්නට හැක්කේ එම තේ කොළ සෙ.අං. 100 ක් පමණ උණුසුම් ජලයේ හොඳින් තැම්බුණු විටදීය.


ජ‍ලයේ ගැඹුරට යත්ම පීඩනය වැඩිවෙනවා.
කිමිදුම්කරුවෝ සාගරයේ ගැඹුරට කිමිදෙති. ජලයේ ගැඹුරට යත්ම පීඩනය වැඩිවේ. මේ නිසා කන් අඩි පිපිරීමට පවා පුළුවන. කිමිදීමේදී කන් ආවරණ පැළඳීමට සිදුවන්නේ එබැවිනි.


 හිස් උණුවතුර බෝතලයක පියන තදින් වහන්න එපා.
උණු වතුර බෝතලයක් උණුවතුර සියල්ල ඉවතට ගෙන හිස් කළ විටෙක වුවද එහි උණුසුම පවතී. උණුසුම නිසා වාතයද එහි නොරැදේ. එවිට උණුවතුර බෝතලය තුළ පවතින්නේ රික්තකයකි. මෙවැනි විටෙක පියන තදින් වැසූ විට ඒ මත බාහිර වායුගෝලයේ පීඩනය යෙදී පියන ඇරීමට අපහසු වේ.




2005 - 2011 All Rights Reserved by CATKAN Foundation & Institute of Fundamental Studies-Sri Lanka