විදු නැණ කිරණScience Dissemination Unit

විද්‍යා ප්‍රබන්ධ / විද්‍යා ලිපි
   Print Friendly and PDFPrint Print Friendly and PDFPDF

තර්කයෙන් ගැටළුවට විසඳුමක් - විද්‍යාත්මක ක්‍රමය


ඔබට ගැටළුවක් තිබෙනවාද? එසේ නම් ඔබට දැන් අවශ්‍ය කුමක්ද? ඊට විසඳුමක් නේද? ඒ විසඳුම සාර්ථක විසඳුමක් කර ගන්නේ කොහොමද කියලා මේ ලිපිය කියෙව්වාම දැන ගන්න ඔබට පුළුවන්. ඔබේ ගැටළුව හොඳින් සොයා බලලා නිසි පදනමක් ඇතිව, ඒ කියන්නේ තාර්කිකව පිළිතුරක් ලබාගන්න ක්‍රමයක් ගැන තමා මේ කියන්න යන්නේ. බොහොමයක් විද්‍යාත්මක පරීක්ෂණ වලට භාවිතා කරන මේ ක්‍රමය "විද්‍යාත්මක ක්‍රමයයි." ඒ නිසා විද්‍යාත්මක ක්‍රමය ගැන හොඳ දැනීමක් තිබීම වැදගත් වෙනවා.

යම් සිදුවීමක් ගැන හිතමු. ඒ සිදුවීම දෙස ළමයි කීපදෙනෙක් බලන්නෙ විවිධ ආකාරයෙන් නේද? ඔබට වුනත් එවැනි අත්දැකීම් ඇති. ඔබේ මිතුරන් දෙදෙනෙක් එකම සිදුවීමක් ගැන ආකාර දෙකකට විස්තර කල අවස්ථාවක් ඔබට මතකද? ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද?

ඔව් පුළුවන්........

මොකද කියනවා නම් එක් එක් පුද්ගලයන්ට තිබෙන අදහස්, ආකල්ප, මතවාද, විශ්වාස එකිනෙකට වෙනස්. එනිසා එකම සිදුවීම වුනත් වෙනස් ආකාර වලින් දකින්නට පුළුවන්. ඇත්තටම එහෙම වෙන එක කොච්චර හොඳද? ඒ නිසා තමා ලෝකයේ විවිධත්වයක් ඇතිවෙලා තියෙන්නේ. නැත්තන් ලෝකේ හැමෝම එක වගේ වුනොත් කිසිම උද්යෝගයක් නැති වෙයි. අනික ඒ වෙනස නිසා තමා එක් එක් පුද්ගලයාට වෙන් වු අනන්‍යතාවයක් පවතින්නේ. හැබැයි සමහර අවස්ථා වලදී අපට සත්‍ය හා මිත්‍යාව අතර වෙනස වෙන්කරගන්න කොට පොඩි ගැටළුවක් ඇති වෙනවා.

ඔන්න ඔය කියන ගැටළුවට අපි විතරක් නෙවේ විද්‍යඥයන් පවා මුහුණ දුන්නා. ඊට පිළියමක් විදිහට තමා යම් ගැටළුවක් විසඳන කොට අනුගමනය කල යුතු සම්මත ක්‍රියා පටිපාටියක් විද්‍යඥයන් විසින් යෝජනා කලේ. නියමිත රාමුවකට ඇතුලත් කර තිබෙන මේ සම්මත ක්‍රියා පටිපාටිය "විද්‍යාත්මක ක්‍රමය" කියලා විද්‍යඥයන් විසින් නම් කලා. වසර ගණනාවක් තුළ සිදු කල විද්‍යාත්මක පර්යේෂණ සඳහා විද්‍යාත්මක ක්‍රමය විශාල පිටිවහලක් වී තිබෙනවා.

විද්‍යාත්මක ක්‍රමය තුළින් පහසුව

විද්‍යාත්මක ක්‍රමය යම් ගැටළුවක් තාර්කිකව විසඳා ගැනීමටත් නිරවද්‍යතාවයෙන් ඉහළ පිළිතුරු ලබාගැනීමටත් ඉතා හොඳ දර්ශකයකි. ගැටළුව විසඳා ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග විද්‍යාත්මක ක්‍රමය මගින් පියවරින් පියවර සපයනු ලුබේ.

ඔබේ ජීවිතයේ ඕනෑතරම් අවස්ථා වලදී විද්‍යාත්මක ක්‍රමය ප්‍රයෝජනයට ගන්නට ඇති. ඒත් ඒ නොදැනුවත්වම වෙන්න පුළුවන්. මේ කතන්දරේ අහලා බලන්නකෝ.
ඥානපාල කියන්නේ හරිම බුද්ධිමත් පාසල් දරැවෙක්. එයා දවසක් නිදාගන්න ඇඳට ගියාම හිතුවා කතන්දර පොතක් කියවන්න ඕනි කියලා. ඉතින් එයා කාමරේ ලයිට් එකත් පත්තු කර ගෙන පොත කියවන්න පටන් ගත්තා.
ඔන්න එතකොටම එයාගේ අම්මා ඇවිත් කිව්වා කාමරේ ලයිට් එක නිවලා නිදාගන්න කියලා. අනේ!!! ඥානපාලට කොහොමහරි පොත කියවන්නත් ඕනි. ඒවගේම අම්මා කියනදේ අහන්නත් ඕනිනෙ. ඉතින් එයා ලයිට් එක නිවුවා. එයා හිතුවා මම කොහොමද පොත කියවන්නේ කියලා. ඔන්න එතකොට එයාට මතක් වුනා එයාගේ පුංචි විදුලි පන්දම. ඥානපාල ඇඳ යටට පොතයි විදුලි පන්දමයි අරගෙන ගිහිල්ලා විදුලි පන්දම දල්වන්න හැදුවා.
ඒත් අනේ විදුලි පන්දම දැල්වුනේ නැහැ. දැන් එයාට මේක ලොකු ප්‍රශ්නයක්. ඥානපාල හිතලා බැලුවා මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට තමා එයාට මතක් වුනේ කලින් දවසකුත් බැටරි බැහැලා විදුලි පන්දම අක්‍රිය වුනා කියලා. ඒ නිසා මෙයා ලාච්චුවේ තිබුණු අලුත් බැටරි අරගෙන විදුලි පන්දමට දාලා බැලුවා. වැඩේ හරි! විදුලි පන්දම දැල්වුනා. ඥානපාල කිසිම ප්‍රශ්නයක් නැතිව පොත කියව ගත්තා.

ඔබට හිතන්න පුළුවන්ද  ඥානපාල ඔහුගේ ගැටළුව විසඳාගන්න විද්‍යාත්මක ක්‍රමය භාවිත කලා කියලා? බැහැ නේද? ඒත් නොදැනුවත්වම විද්‍යාත්මක ක්‍රමය තමා ඔහු භාවිත කරලා තියෙන්නේ.

විද්‍යාත්මක ක්‍රමයේ මුලික පියවර පහක් තිබෙනවා.

  • ගැටළුව හඳුනා ගැනීම.
  • ගැටළුව විශ්ලේෂණය කිරීම.
  • කල්පිතය ගොඩනැගීම.
  • පරීක්ෂණය පැවැත්වීම.
  • අවසාන නිගමනයකට එලඹීම.

දැන් බලමු ඥානපාල ඇත්තටම මේ පියවර අනුගමනය කලාද කියලා

  • විදුලි පන්දම දැල්වුනේ නැති විට ඥානපාල ගැටළුවක් ඇතිබව අවබෝධ කර ගත්තා. ඒ තමයි පළවන පියවර.
  • කලින් වතාවෙ විදුලි පන්දම නිවුණු අවස්ථාව මතක් කරමින් ගැටළුව විශ්ලේෂණය කලා. ඒ දෙවැනි පියවර.
  • ඊට පස්සේ එයා අළුතින් බැටරි දාන්න ඕනි කියලා කල්පිතයක් ගොඩ නැගුවා. ඒ තමයි තෙවැනි පියවර.
  • ඒ වගේම අළුත් බැටරි යොදා පරික්ෂා කරලත් බැලුවා. ඒ සිව් වෙනි පියවර.
  • ඒ ඇසුරෙන් පන්දමේ තිබූ දෝෂය බැටරිය බැසීම කියලා නිගමනය කරන්නත් ඔහුට පුළුවන් වුනා. ඒ පස්වන පියවරයි.

දැන් ඔබට වැටහෙනවා නේද විද්‍යාත්මක ක්‍රමය කියන්නේ බැරැරැම් විෂය ක්ෂේත්‍රයක් නොවන බව? එදිනෙදා දිවියේ අපට හමුවන දෑ තුලින්ම අපට විද්‍යාත්මක ක්‍රමය වටහා ගත හැකිය. මෙහි විශේෂත්වය නම්, යම් කිසි ගැටළුවක් ලෝකයේ ඕනෑම තැනක ඕනෑම කෙනෙකු විසින් විසඳීම සඳහා භාවිත කරනුයේ එකම සම්මත පටිපාටියක් වීමයි. එනම් එක් එක් පුද්ගලයාගේ අදහස් හා මතවාද වලින් ස්වාධීන වු පරීක්ෂණයක් තමා විද්‍යාත්මක ක්‍රමය මගින් සිදුවන්නේ. ඒ සඳහා බලපානුයේ විෂයානුබද්ධ කාරණා පමණි.

ඒ කියන්නේ මේ ගැටළුව විද්‍යාත්මකව විග්‍රහ නොකර ඥානපාල හිතුවා නම් විදුලි පන්දම දැල්වුනේ නැත්තේ අම්මා කියන දේ අහපු නැති නිසා කියලා එයාට කවදාවත් ගැටළුව විසඳගන්න ලැබෙන්නෙ නැහැ. නමුත් විෂයානුබද්ධව විග්‍රහ කළ නිසා විද්‍යාත්මක ක්‍රමය මගින් ඔහුට ගැටළුව සාර්ථකව විසඳගන්න පුළුවන් වුනා.

විද්‍යාත්මක ක්‍රමය පිළිබඳ අදහස කොහෙන්ද?

වසර සිය ගණනක් පුරාවට විද්‍යාත්මක දැනුම සඳහා කල විශ්ලේෂණ රාශියක ප්‍රතිපලයක් ලෙසයි විද්‍යාත්මක ක්‍රමය ලොවට හෙලිදරව් වුනේ. වාර්ථා වී ඇති අන්දමට 1627-1697 කාලයේ ජීවත් වු ඉතාලි ජාතික භෞතිකඥයකු වු ෆාැන්සිස්කෝ රේඩි නැමැත්තා තමයි මුලින්ම විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් පරීක්ෂණයක් සැලසුම් කලේ. ඔහු විද්‍යඥයෙක් ලෙස මෙන්ම වෛද්‍යවරයෙක්, කවියෙක් හා රචකයකු ලෙසද කටයුතු කර තිබෙනවා. රේඩි විසින් පරීක්ෂණ සැලසුම් කරන ලද්දේ ස්වයංසිද්ධ ජනන වාදය ට එරෙහිවයි.
පුරාණයේ වසර සිය ගණනක් පුරා මිනිසුන් ව්ශ්වාස කලේ අජීවී ද්‍රව්‍ය වලින් ඕනෑම අවස්ථාවක ජීවීන් හට ගත හැකි බවයි. ස්වයංසිද්ධ ජනන වාදය ලෙස හැඳින්වෙන්නේ මෙම විශ්වාසයයි. විද්‍යව ගැන දැනුමක් ඇති අපට එය විකාර අදහසක් ලෙස දැනුනත් එකල බොහෝදෙනා මේ මතය පිලිගත්හ. උදාහරණයක් විදිහට ගතහොත් ඔවුන් සිතුවේ දිරාපත් වන රෙදිපිළි, පිදුරැ වැනි දේ වලින් මීයන් කැරපොත්තන් වැනි ජීවීන් බිහිවන බවයි. මේ මතය බිඳ හෙලීමට හැකි වුනේ රේඩි විසින් අරඹන ලද විද්‍යාත්මක පරීක්ෂණ වැඩිදුරටත් දියුණු කිරීමෙනි.

කොහොම වුනත් රේඩි පරීක්ෂණ මෙහෙයවුයේ දිරාපත්වන රෙදි කෑලි ඇසුරෙන් නම් නොවේ. කුණු වන මස් වලින් පණුවන් බිහිවන බවට තිබූ මතය බිඳහෙලීමටයි ඔහු පරීක්ෂණ සැලසුම් කලේ. ඔහු ගොඩනැගු කල්පිතය තමා වටපිටාවේ සිටින මැස්සන් කුණු වන මස් මත බිත්තර දැමීමෙන් පණුවන් ඇතිවේ යන්න.
එය පරීක්ෂා කිරීමට බඳුන් දෙකකට කුණු වන මස් දමා එකක් වාතයට විවෘතවත් අනෙක මුද්‍රා තබාත් දින කීපයක් තිබෙන්නට හැරියා. එවිට විවෘත බඳුනේ පමණක් පණුවන් හටගෙන ඇතිබව නිරීක්ෂණය කිරීමෙන් ඔහුගේ මතය සනාථ වුනා. ගැටළු විසඳාගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමය භාවිත කිරීම එදා සිට අද දක්වාම විවිධ කෙෂ්ත්‍රයන්හි භාවිතයට ගනු ලබනවා.

ගැටළුව සඳහන් කිරීම

එදිනෙදා ජීවිතයේ හමුවන ගැටළු හඳුනාගැනීමට උත්සාහ කරන්න. ඒ වගේම විද්‍යාත්මක ක්‍රමය භාවිතයෙන් එම ගැටළු විසඳා ගැනීමට හැකිවේදැයි බලන්න.

විද්‍යාත්මක ක්‍රමයේ පළමු පියවර ගැටළුව හඳුනා ගැනීමයි. මෙය අරමුණ සඳහන් කිරීම ලෙසත් හඳුන්වනවා. මෙහි අරමුණ කියලා හඳුන්වන්නේ ඔබ සිදුකරන්නට යන ව්‍යාපෘතියෙන් ලබා ගන්නට අපේක්ෂා කරන ප්‍රතිඵලයයි. එනම් ගැටළුව විසඳා ගැනීම හෝ ගැටළුවට පිළිතුර සොයා ගැනීමයි. විද්‍යාත්මක ව්‍යාපෘතියක අරමුණ සෘජුවම හඳුනාගත හැකි නමුත් එදිනෙදා ජීවිතයේ ගැටළුවක් විසඳන විට එතරම් සෘජු නොවුවත් සරළ අරමුණක් හඳුනාගත හැකිය.

උදාහරණයක් ලෙස ඔබට මෙවැනි ගැටළු හමු වී ඇති.
  • විභාගයේදී ගණිතයට මට ලකුණු 88ක් ලැබී මගේ මිතුරාට ලකුණු 74ක් ලැබුනේ ඇයි?
  • අල්ලපු ගෙදර තණකොල කොලපාටට සරුවට වැඩී තිබුනත් මගේ ගෙදර තණකොල දුඹුරු පැහැ වී වියලී ගොස් තිබෙන්නේ ඇයි?

මෙලෙස ගැටළුව හඳුනාගත් පසු තවදුරටත් පරීක්ෂණය මෙහෙයවීමෙන් ගැටළුව විසඳාගත හැකිය. එවිට ඒ ගැටළු වලට මෙවැනි විසඳුම් ලැබේවි.

  • අල්ලපු ගෙදර තණකොල වලට හොඳින් පොහොර යොදා ඇති නිසා ඒවා සරුවට වැඩී ඇත. නමුත් මම පොහොර යෙදුවේ නැති නිසා මගේ තණකොල වියලී ගොස් ඇත.
  • මගේ මිතුරාට විභාගයට පෙර දිනයේ ගණිතය පොත අමතක වී ගොස් ඇති නිසා ඔහුට පාඩම් කිරීමට නොහැකි විය.

ගැටළුව/අරමුණ සඳහන් කිරීමේදී අවධානය යොමු කල යුතු ප්‍රධාන කරුණක් නම් එය ප්‍රමාණයට වඩා පුළුල් ලෙස තෝරා නොගැනීමයි. මොකද එතරම් පුළුල් මාතෘකාවක් තෝරා ගතහොත් ඔබට පරීක්ෂණය කලමණාකරණය කර ගැනීම අපහසු වනවා. ඔබ ගැටළුව සඳහන් කළ යුත්තේ නියමිත ඉලක්කයක් ඇතිව හැකි තරම් සරළව හා පටු ආකාරයෙනි. එවිට පරීක්ෂනය මෙහෙය වීමේ ආරම්භක ලක්ෂය හඳුනාගැනීමට ඔබට වඩාත් පහසු වේ.

අපි මෙහෙම හිතමු.
ඔබ ගැටළුව මේ ආකාරයට සඳහන් කලොත්...
" ශාක වර්ධනය වඩා හොඳින් සිදු වන්නේ කුමන තත්ව යටතේද? "
මෙය ඉතාම පුළුල් ගැටළුවක්. මොකද කියනවා නම් ශාක වර්ග ගණන හා තත්ව ගණන අසීමිත වෙන්න පුළුවන් නිසා. එවිට ඔබට පරීක්ෂණය මෙහෙය වීම ඇරඹිය යුතු ස්ථානය හඳුනාගැනීම අපහසුයි.

නමුත් අපට පුළුවන් මෙවැනි ගැටළුවක් තෝරා ගන්න.
" බෝංචි පැල වඩා හොඳින් වර්ධනය වන්නේ සෘජු ආලෝකයේදීද? වක්‍ර ආලෝකයේදීද? සෙවනේදීද? "
ඔන්න දැන් නම් ගැටළුව නිශ්ච්ත ඉලක්ක ගත ලෙස ඉදිරිපත් වී තිබෙනවා. මෙහි නියමිත ශාක වර්ගයක් හා නියමිත සාධකයක් සඳහන් කර තිබෙන නිසා ගැටළුව සරළයි පැහැදිලියි. ඒ වගේම ගැටළුවක් තෝරාගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණක් නම්, එය පරීක්ෂණයක් මගින් විසඳා ගත හැකි විය යුතු වීමයි.
ඉහත බොංචි පැලයේ ගැටළුව නම් පාලක පරීක්ෂණයක් මගින් පහසුවෙන්ම විසඳා ගන්නට පුළුවන්. පාලක පරීක්ෂණයක් කියන්නේ එක් සාම්පලයකට ලැබෙන සාධක පාලනය කර ඊට සමානුපාතිකව අනෙක් සාම්පලයට ලුබෙන සාධක වෙනස් කරමින් පරීක්ෂණය මෙහෙය වීමයි.

ඔබේ අරමුණ ගවේෂණය කිරීම

ඔබ ගැටළුව හඳුනාගත් පසු, කල්පිතයක් ගොඩනැගීමට ප්‍රථමයෙන් තරමක් දුරට කුඩා විශ්ලේෂණයක් කල යුතුයි. එමගින් ඔබට වඩා සුදුසු කල්පිතයක් එනම් බුද්ධිමත් ලෙස පරීක්ෂණයේ නිගමනය පිලිබඳ කරන ලද අනුමානයක් ගොඩනැගිය හැකිය. තවත් මතක තබා ගත යුතු වැදගත් කරැණක් නම්, ඔබේ පරීක්ෂණයේ සෑම පියවරක්ම ලේඛනගත කල යුතුයි. ඒ වගේම පරීක්ෂණ සම්බන්ධයෙන් ඔබ ලබා ඇති අත්දැකීම්ද ඉතාමත් වැදගත් වනවා.

කල්පිතයක් ගොඩනැගීම

විද්‍යාත්මක ක්‍රමයේ තෙවන පියවර කල්පිතයක් ගොඩනැගීමයි. කල්පිතයක් යනු පරීක්ෂණයේ අවසන් නිගමනය පිලිබඳ කරනු ලබන බුද්ධිමත් උපකල්පනයකි. එය ඔබ පරීක්ෂණය පිලිබඳ ලබා ඇති අත්දැකීම් හා දැනුම මත පදනම් වේ. කල්පිතයෙන් පරීක්ෂණයේ ප්‍රතිඵලය කෙබඳු විය හැකිද යන්න අනුමාන කරනවා මිස එය එසේ වන්නේ ඇයි යන්න විග්‍රහ නොකරයි. ඔබ ගැටළුව ගැන වැඩි වැඩියෙන් දන්නා තරමට කල්පිතයේ තාර්කික බව ඉහළ නංවා ගත හැකිය.

හොඳම උපකල්පනය කල්පිතය විය යුතුයි

ඔබේ කල්පිතය පැහැදිළි සරළ වාක්‍යක් විය යුතුයි. එය ප්‍රශ්නාර්ථයෙන් නොව වාක්‍ය ස්වරූපයෙන් තිබිය යුතුයි.
    උදා: බෝංචි පැල වක්‍ර ආලෝකය හා සෙවනේදීට වඩා සෘජු ආලෝකයෙදී හොඳින් වර්ධනය වේ.


කලපිතයක් යනු බුද්ධිමත් අදහසක් නිසා එය විය හැකි දෙයක් ලෙස හෝ සිතුවිල්ලක් ලෙස දැක්විය යුතු නැත. සෘජුවම දැක්විය හැකිය.
    උදා: මම හිතන්නේ බෝංචි පැල වක්‍ර ආලෝකයේදී හා සෙවනේදීට වඩා සෘජු ආලෝකයේදී හොඳින් වර්ධනය විය හැකිය.

මෙලෙස සඳහන් කිරීම අවශ්‍ය නැත.

කල්පිතය තවත් එක් උපකල්පනයක් පමණි

පරීක්ෂණයේදී කල්පිතය වැරදි බව අණාවරණය වුවහොත් මොකද වෙන්නේ? කිසිම විශේෂ දෙයක් නැහැ. ඉන් පරීක්ෂණයට කිසිම බලපෑමක් නැහැ. මොකද ඒක අපි අනුමානකල දෙයක් පමණයි. කල්පිතය වැරදීමෙන් පරීක්ෂණයේ වටිනාකමට කිසිම හානියක් වෙන්නේ නැහැ. අපට තියෙන්නේ අළුත් කල්පිතයක් යෝජනා කොට නැවතත් පරීක්ෂණය මෙහෙය වීමයි.

කල්පිතය පරික්ෂා කිරීම

ඔබ පරීක්ෂණය සැලසුම් කරනුයේ කල්පිතයේ සත්‍යතාවය පරික්ෂා කිරීමටයි. පරීක්ෂණය සැලසුම් වන්නෙත් කල්පිතය වටායි. පරීක්ෂණය එයට එකඟ වීමට හෝ නොවීමට පුළුවන්. එනිසා කල්පිතය ප්‍රතික්ෂේප වන ප්‍රතිඵලයක් ලැබුනහොත් කල්පිතය වෙනස් කරන්න යන්න එපා. එවිට විද්‍යාත්මක ක්‍රමය භාවිත කිරීමේ වැදගත්කම නැතිවෙනවා. ඒ කල්පිතය එසේම තිබියදී නව කල්පිතයක් සඳහා යන්න. එයයි විද්‍යාත්මක ක්‍රමයේ නිවැරදි පටිපාටිය.

ක්‍රමය

ඔබේ පරීක්ෂණයේ ක්‍රමය මඟින් කල්පිතයේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කරනු ලබනවා. පරීක්ෂණයේ ක්‍රමය සකස් කල යුත්තේ ඔබේ ගැටළුවට පමණක් ඉලක්කගත පිළිතුරක් ලැබෙන පරිදිය. මුලින්ම පරික්ෂණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලයිස්තුවක් සකස් කර ගන්න. පරීක්ෂණය සිදු කරන සෑම පියවරකදීම ඒ පිළිබඳ වාර්තා තබා ගන්න. ප්‍රභලතා මෙන්ම දුබලතා ද සටහන් කර ගැනීම වැදගත්. අවශ්‍ය විටක පාලක පරීක්ෂණයක්ද මෙහෙයවීම වැදගත්ය.

නිගමනය

පරීක්ෂණය මෙයෙවීමෙන් පසු ඔබේ ගැටළුව සඳහා අවසානයේ ලබාගන්නා විසඳුම නිගමනයයි. පැහැදිලි වාර්තාවක ඒවා සටහන් කර ගන්න. වඩාත් නිවැරදි ප්‍රතිඵල සඳහා පරීක්ෂණය දෙවරක් සිදු කරන්න.

අවසානය

ඔබ ගැටළුවක් යොමු කළා, පරීක්ෂණයක් පැවැත්වුවා, නැවත නැවතත් පරීක්ෂණය කොට ප්‍රතිඵල තහවුරැ කර ගත්තා, ප්‍රතිඵල වාර්ථා කලා. දැන් ඔබේ පරීක්ෂණයේ අවසානය සටහන්කරන වේලාවයි. අවසානය යනු සරළව හා පැහැදිලිව ගැටළුවේ පිලිතුරයි. එය ඉලක්කගත ඉතා පැහැදිලි පිලිතුරක් විය යුතුයි. නමුත් එක් වරම අවසාන පියවරට පනින්න උත්සාහ කරන්න එපා. මෙවැනි දේ ගැන නැවත වරක් සිතා බලන්න.

  • නැවත වරක් පරීක්ෂණය කලොත් එකම ප්‍රතිඵල ලැබේවිද?
  • වෙනස්කම් තිබිය නොහැකිද? ඒ ඇයි?
  • කල්පිතයට සිදුවුයේ කුමක්ද?
  • අලුතින් උගත් දේ මොනවාද?

මේ දේවල් ගැනත් හිතමින් ඔබේ ගැටළුවත් පර්යේෂණ ක්‍රමවේදයත් සාරාංශ කොට අවසාන වාර්තාවට ඇතුලත් කරන්න. දැන් ඔබ හොඳින්ම දැනුවත්. ඔබ දන්නවා විද්‍යාත්මක ක්‍රමය කියන්නේ තාර්කානුකූලව ගැටළු විසඳා ගැනීමේ ක්‍රමයක් කියලා. විද්‍යාඥයන් විතරක් නෙවේ තවත් බොහෝ දෙනා විසින් විද්‍යාත්මක ක්‍රමය භාවිතයට ගනු ලබනවා.
ඉතිහාසඥයන් සමාජ විද්‍යාඥයන්, අපරාධ පරීක්ෂණ විමර්ශකයන්, වෛද්‍යවරුන්, හා ඉංජිනේරුවන් තම වෘතීන්හීදී විද්‍යාත්මක ක්‍රමය භාවිත කරනු ලබනවා. ඒවගේම ගැටළුවක් තාර්කිකව විසඳා ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට විද්‍යාත්මක ක්‍රමය භාවිත කරන්නට පුළුවන්. දැන් ඔබට වැටහෙනවා ඇති ඕනෑම විද්‍යාත්මක පරීක්ෂණයක මුලික අරටුව විද්‍යාත්මක ක්‍රමය බව.

අපි විද්‍යාත්මක ක්‍රමය දෙස අළුත් විදිහකට බලමු….

බොහො නව විද්‍යාඥයන්ට අතපසු වන පියවරක් තමා ප්‍රතිඵල සංනිවේදනය කිරීම. ඒක තමා ඉතාම වැදගත් පියවර. අද සමාජයේ බොහෝ දෙනෙක් විද්‍යාව තුලින් දියුණුව කරා ගමන් කිරීමට උත්සාහ කරන අතරම විද්‍යාත්මක දැනුම සඳහා විශාල පිපාසයක් පවතිනවා. එනිසා සිසුන් වශයෙන් විද්‍යාත්මක ක්‍රමය කෙරෙහි ඇල්මක් දක්වන්නේ නම් එය අපේ අනාගතයට ඉතාම වැදගත්. විද්‍යාත්මක ක්‍රමය තුළින් අපි ගවේෂණය කරන්නට උත්සහ කරන සමහර ක්‍ෂේත්‍ර  පිළිබඳ විද්‍යාඥයන් නිසි පිලිගැනීමක්  නොදක්වනවා වෙන්න පුළුවන්. නමුත් ඒ ගවේෂණයන් හා පරීක්ෂණ පිළිබඳ අත්දැකීම් හෙට දින බිහි වන නව විද්‍යාඥයකුගේ මංපෙත වේවි. එනිසා ඔබේ උත්සහය අත් හරින්න එපා. විද්‍යාත්මක ලේකය තුළ ඔබට හැකි උපරිමයෙන් සැරිසරන්න.

ඇත්තටම විද්‍යාඥයෙක් කියන්නේ කාටද?
            ඔබ ගැන මොකද හිතන්නේ?
            ඔබත් විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන්නෙක් නම්……

සිතන්න
        ඔබ කවුද?
        ඔබට යා හැකි දුර කොතරම්ද?

මහාචාර්ය ආසිරි නානායක්කාර, ආචාර්ය සී.ටී.කේ. තිලකරත්න
මුලික අධ්‍යයන ආයතනය ~

(පරිවර්තනයසත්‍යා දිසානායක.)

 

blog comments powered by Disqus
2005 - 2011 All Rights Reserved by CATKAN Foundation & Institute of Fundamental Studies-Sri Lanka